Monday, July 13, 2009

ගීත ලොවේ මෙන්න අළුත් සෙල්ලම සිනා සිසී බෙල්ල කැපීම

”අපි නොදන්න චෙස්” කියා කීවේ ඇත්තටම චෙස් නොදන්නා නමුත් කැරම් ක‍්‍රීඩාවෙන් මුල් තැන ගත් අපේ මිතුරෙකි. කැරම් ක‍්‍රීඩාව හා චෙස් ක‍්‍රීඩාව අතර වෙනස්කම් බොහෝය. කැරම් ක‍්‍රීඩාවේදී තමන්ගේම ඉත්තන් වලට දැමීම සිදුවන අතර චෙස් ක‍්‍රීඩාවේදී කරන්නේ ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයාගේ ඉත්තන් කපා දැමීමයි. චෙස් නොදන්නා අපි දන්නා ක‍්‍රීඩාව වන්නේ දාම් ඇදීමයි. දාම් ඇදීමේදී ද කපන්නේ ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයාගේ ඉත්තන්ය. සමහර විට ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයාට තමන්ගේ ඉත්තෙකු ඇමට දී එය කපා ගැනීමට ඉඩ හැර, එම ඉඩ පාවිච්චි කර, ප‍්‍රතිවාදියාගේ ඉත්තන් තුන් හතර දෙනෙක් කපාගෙන දාම් යාමට හෙවත් රජ වීමට ද අවස්ථාව තිබේ.කැපිල්ලේ ඉතිහාසය විජයගේ කාලය තරම් ඈතට ගෙන යා හැකිය. විජය ලංකාවට පැමිණ කුවේණි යොදාගෙන ශීර්ෂ වස්තුපුරයේ යක්ෂ නායකයන් සියල්ලම කපා දමා ලක්දිව රජ බවට පත් විය. ඉන්පසුව ඉන්දියාවෙන් භාර්යාවක් ගෙන්වාගෙන තමන්ට උදව් කළ කුවේණිත් කපා දැම්මේය.මේ සියලූ කැපිලි වලට උදවු කළ සත් සියයක් සේනාව සහ මිතුරන් කෙතරම් බලාපොරොත්තු තබාගෙන සිටියත් ඔවුන් සියල්ල කපා දමා තමාගෙන් පසු රජකමට පත් කළේ, විදේශ රටක සිට ආනයනය කළ තමන්ගේ සහෝදරයාය.

මෑත කාලයේ කැපිල්ල පටන් ගත්තේ, හෙළ උරුමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද නඩුවක තීන්දුව යොදා ගනිමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ධුර කාලය වසරකින් කපා දැමීමත් සමඟය. ඉන්පසු, රනිල් සමඟ මුහුණට මුහුණ සටනට පිවිසි මහින්ද සහ පිරිස අන්තිම මොහොතේ එල්.ටී.ටී.ඊ යද යොදා ගෙන රනිල් කපා දමා ජනාධිපති පුටුවේ වාඩි වේ.ඉන් පසු සිදු වන්නේ බායිස් ඇතුලූ පිරිස යොදාගෙන මුස්ලිම් කොංග‍්‍රසයේ රවුෆ් හකීම් කැපීමය. ඒ සමඟම සෙල්වසාමි ඇතුලූ තවත් අය යොදා ගෙන ලංකා කම්කරු කොංග‍්‍රසයේ තොණ්ඩමන් කපා දමා පසුව කැපුණු ඉත්තන් වන තොණ්ඩමන් හා හකීම් යන දෙදෙනාම තමන්ගේ ගොඩට දමා ගැනීම සිදුවේ. මීළඟට සිදුවන වැදගත්ම සිදුවීම වන්නේ, කරූ ඇතුලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිළේ දාහත් දෙනා දමා රනිල් කපා දමන අතර ම ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබු රිමෝට් කොන්ට්‍රෝලයේ බැටරි බැස්සවීමය. ඉන්පසු මංගල තර්ජනයක් එල්ල කළ විට ජ.වි.පෙ යොදාගෙන මංගල කපා දැමීම සිදු වේ.

මේ අතර නැගෙනහිර පළාතේ පිල්ලෙයාන් සාධකය ඉදිරියට එන අතර මෙහිදී සිදුවන්නේ පිල්ලෙයාන් දමා කරුණා කැපීමය. පසු කලෙකදී නැවතත් කරුණා දමා පිල්ලෙයාන් කැපීම සිදුවේ. ප‍්‍ර‍්‍රතිඵලයක් ලෙස ඉත්තන් දෙදෙනාම ආණ්ඩුවේ ගොඩට එකතු වේ.මේ අතර කැපිල්ල ජාත්‍යන්තර තලයට ද ගමන් කරයි. චීනය යොදාගෙන ඇමෙරිකාව සහ යුරෝපීය රටවල් කපා දමන ලද අතර චීනය සහ පකිස්ථානය මඟින් ඉන්දියාව බැලන්ස් කරගෙන ඉන්පසු ඉන්දියාව යොදා ගෙන මෙතෙක් කිසිවෙකුටත් කපා දැමීමට නොහැකිව තිබු ඉත්තා වන එල්.ටී.ටී.ඊ යද කපා දමා දාම් යාම හෙවත් රජවීම සිදුවේ.

විමල් සහ නන්දන යොදා ගෙන ජනතා විමුක්ති පෙරමුණ කපා දැමීම වනාහි ඉහත කී රජ කැපිල්ලට පමණක් දෙවෙනි වු තවත් ඓතිහාසික කැපිල්ලකි. ලංකාවේ සියළුම පක්ෂ හා සංවිධාන මෙසේ ඉතා දක්ෂ ලෙස කපා දැමීමෙන් අනතුරුව දැන් අළුත්ම කැපිල්ල එල්ල වී තිබෙන්නේ ජාතික හෙළ උරුමය වෙතය. ජනප‍්‍රිය දේශපාලනයේ සංඝටක යොදාගෙන පක්ෂය ප‍්‍රසාරණය කොට වෙහෙස මහන්සි වී එය ලංකාවේ හතරවෙනි දේශපාලන බලවේගය බවට පත්කළ චම්පික, රතන, නිශාන්ත යන ත‍්‍රිමූර්තිය මෙකී ජනප‍්‍රිය සංඝටක වන ගම්මන්පිල හා කොටකදෙනිය වැනි චරිත යොදාගෙන කපා දැමීම කැපිල්ලේ මීළඟ අදියර බවට පත්වන ලකුණු දැනටමත් පහළ වී ඇත.

පුදුමයට මෙන් මේ දක්වා කරන ලද සෑම කැපිල්ලක් ම කිරි ගහට ඇන්නාක් මෙන් අතිශය සාර්ථක වී ඇත. කැපිල්ලට යොදා ගන්නා ඉත්තන් මෙන්ම කැපුණු ඉත්තන්ද (එල්.ටී.ටී.ඊ ය, මංගල හා කරු හැර) කැපිල්ල සිදු කළ ආණ්ඩුවේ පැත්තේම වාඩි වී සිටින්නේ පුදුමකාර විදිහටය.”ජයග‍්‍රහණයෙන් උද්දාමයට පත් ව තව තවත් කැපිලි වලට සැරසෙන සියළුදෙනා අමතක කරන එක කාරණයක් ඇත. ඒ දාම් පෙතේ හෝ චෙස් පෙතේ ඉත්තන් මෙන් නොව දේශපාලන පෙතේ දී කැපිල්ලට ලක්වන හා ආනාගතයේදී කැපිල්ලට ලක් විය හැකි ඉත්තන්ට ‘සිතන්නට’ පුළුවන් බවයි.”කැපිල්ල හේතුවෙන් තමාට ඇති වු තුවාලවල බෙහෙත් තෙල් ආලේප කර ගනිමින් හොරි කසමින් සහ ගිනි පිබිමින් ඔවුන් සිටින්නේ තිත්තයාගේ වාරය එනතුරු විය හැකිය. ඇත්තවශයෙන්ම දෙමළ කැරළිකාරීත්වය සමූල ඝාතනය කර යුද්ධය ජයග‍්‍රහණය කිරීමෙන් පසු බොහෝ ලිබරල්වාදින් කල්පනා කළ ආකාරයට ලංකාව සාමකාමී ලෙස සංවර්ධන ගමනේ ඉදිරියට යනු වෙනුවට එක තැන පල් වෙමින් සිටින්නේ මේ අසහනයට පත් ඉත්තන් නිහඬව කරන කියන දේ නිසා විය නොහැකි ද?

No comments: