Wednesday, September 3, 2008

මැතිවරණය හා ප‍්‍රචණ්ඩත්වය


විනාඩියක් පමණයි රූපවාහිනි වැඩසටහනක තේමාව වශයෙන් මැතිවරණය යන්න යොදා ගැනීමේදී ප‍්‍රචණ්ඩත්වය යන්න තහනම් වචනය ලෙස යෙදිය හැකි තරමට මැතිවරණයත්, ප‍්‍රචණ්ඩත්වයත් එක ළඟ ගමන් කරන වචන දෙකක් බවට පත්ව තිබේ. මැතිවරණය පිළිබඳ කථා කරන විට සෑමවිටම ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සංඛ්‍යාව සීමිත ඕවර් තරඟයක ලකුණු තත්ත්වය මෙන් මාධ්‍ය මඟින් ප‍්‍රචාරය වේ. ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණය කිරීමට මධ්‍යස්ථාන දෙකක් බිහි වී ඇති අතර එකක් සිවිල් සමාජයෙන් මෙහෙයවන විට අනෙක ආණ්ඩුවෙන් මෙහෙයවීම සිදුවේ. මෙහිදී සිවිල් සමාජ, ආගමික සමාජ හා ජනමාධ්‍ය යන සියළු දෙනාගේ ඉල්ලීම එකය. එනම් ප‍්‍රචණ්ඩත්වය එපා යන්නයි. ඒ කවුරු කොහොම කිව්වත් අපට පෙනෙන්න තිබෙන්නේ දිනෙන් දින ප‍්‍රචණ්ඩත්වය සංඛ්‍යාවෙන් පමණක් නොව ප‍්‍රමාණයෙන් සහ ගුණයෙන් ද වැඩි වන බවයි.
ප‍්‍රචණ්ඩත්වය මෙලෙස වැඩි වන්නේ ඇයි? ඕනම ජන සමාජයක යම්කිසි ප‍්‍රචණ්ඩත්වයක් තිබෙන නමුත් මේවා එක්තරා ආකාරයකට ආත්ම මුලික ප‍්‍රචණ්ඩ ක‍්‍රියා විදිහට හඳුන්වන්න පුළුවන්. මිනිස්සු යම් හේතූන් නිසා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කිරීමට පෙළඹිලා. එවිට එම තත්ත්වය පාලනය කිරීමට පොලීසිය වැනි නීතියේ යාන්ත‍්‍රණයන් තියෙනවා. මැතිවරණ ප‍්‍රචණ්ඩත්වය ගත් විට විශේෂයෙන් අද දකින ප‍්‍රචණ්ඩත්වය එවැනි ආත්ම මුලික ප‍්‍රචණ්ඩත්වයන් නොවේ. එය වාස්ථවික ප‍්‍රචණ්ඩත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම ප‍්‍රචණ්ඩත්වයන් හිදී පොලීසිය නිරුත්තර වන්නේ එනිසයි. පොලීසිය අද අවාසනාවට මෙන් ප‍්‍රචණ්ඩත්වය ඉදිරියේ නිරීක්ෂකයෙකු බවට පත්ව තිබේ. තවත් අකාරයකට කියනවා නම් පොලීසිය ප‍්‍රචණ්ඩ ක‍්‍රියාකරන අයට විරුද්ධව කිසිවක් නොකරනවා පමණක් නොව අනෙක් අයටද කියන්නේ තමන්ට පුළුවන් ආකාරයකට ගැටුම් නිරාකරණය කර ගන්නා ලෙසයි. මෙහි ප‍්‍රථිඵලයක් ලෙසින් එක පැත්තකින් පොලීසියේ අවහිරයක් නොමැතිව ඇතැම් අය ප‍්‍රචණ්ඩත්වය පාවිච්චි කරනවා. ඊට ලක්වෙන අයත් තමන්ට නීතියෙන් ආරක්ෂාවක් නොලැබෙන විට අපිත් ප‍්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දෙනවායි කියයි. පසුගිය කාලයේ ස්ථාන ගණනාවකම විශේෂයෙන් නිවිතිගල හා අනුරාධපුරයේ වු මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලදී මේ බව පැහැදිලිව පෙනෙන්න තිබුනා. මෙනිසා අපි දිගින් දිගටම අවධාරණය කළේ රටවැසියාගේ ආරක්ෂාව වෙනුවෙන් වගකිව යුතු රාජ්‍ය බලය එක් පක්ෂයක වුවමනා එපාකම් සඳහා පාවිච්චි කරන විට ඒ රාජ්‍ය බලයට ඇති සුජාතභාවය නැතිවෙලා ඒ රාජ්‍ය බලයෙන් පහරකන අය විකල්ප බලයන් පාවිච්චි කිරීමට පෙළෙඔනවා.එවිට රටේ අරාජික භාවයක් නිරායාසයෙන්ම ඇති වෙයි. ඒ බව අද පැහැදිලිවම මැතිවරණ වලදී ඔප්පු වී තිබෙනවා. මේ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ලබා ගැනීම වෙනුවෙන් සටන් කිරීම අද දවසේ ප‍්‍රධාන කාර්යභාරය වී තිබෙනවා. විශේෂයෙන්ම 17 වන සංශෝධනය මඟින් ඇති කළ ස්වාධීන කොමිසම් සභා නැවත ක‍්‍රියාත්මක කිරීම, විධායක ජනාධිපතිධුරය පාර්ලිමේන්තුවට වගකියන තත්ත්වයක් දක්වා ගෙන ඒම සහ ජනමතය නිරූපණය කරන ආකාරයට මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම ඇතුළු ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීම තවදුරටත් ප‍්‍රමාද කළ නොහැක. මෙහිදී දේශපාලන පක්ෂ පිළිබඳ කීමේදී අපට පෙනී යන ආකාරයට පවතින වාතාවරණය යටතේ දේශපාලන පක්ෂවල ප‍්‍රධාන සාධකයක් බවට ප‍්‍රචණ්ඩත්වය පත්ව ඇති නිසා, ප‍්‍රචණ්ඩත්වයට විරුද්ධ වන්නේ ප‍්‍රති ප‍්‍රචණ්ඩත්වයෙන් නිසා දේශපාලන පක්ෂ මැතිවරණවලට ප‍්‍රචණ්ඩ පුද්ගලයන් යොදා ගැනීමේ ප‍්‍රවණතාවක් වර්ධනය වී ඇත. විශේෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වන සමහර අපේක්ෂකයන්ගේ අපර නාමයන් ගෙන බැලූ විට ඒ බව පැහැදිලිය. කොටියා, රාජාලියා, උකුස්සා, චණ්ඩි මල්ලි වැනි නම් වලින් හැඳින්වෙන අපේක්ෂකයන් අද බහුලව සිටින්නේ එනිසයි. මෙය ප‍්‍රචණ්ඩත්වය චක‍්‍රයක් ලෙස ඉදිරියට ගෙනයාමට බලපායි. එවිට ප‍්‍රචණ්ඩ පුද්ගලයින් පාවිච්චි කර බලය ලබාගත් පසු තමන්ට ඔවුන් අවශ්‍ය පරිදි පාලනය කළ හැකියි යන්න මෙම පක්ෂ නායකයින්ගේ කල්පනාවයි. නමුත් ක‍්‍රමානුකූලව අපේ ඇස් ඉදිරියේ පෙනෙන්න තිබෙන්නේ තමන් පාවිච්චි කිරීමට යොදා ගත් පුද්ගලයන් පෙරලා තමන්ව පාවිච්චි කරන මට්ටමක් දක්වා තත්ත්වය වෙනස් වී ඇති බවයි. මෑත කාලයේ ප‍්‍රසිද්ධ ඇමතිවරයෙක් සම්බන්ධයෙන් දිගින් දිගටම ඇති වු ප‍්‍රචණ්ඩකාරී තත්ත්වය සම්බන්ධයෙන් මේ කාරණය ඉතා පැහැදිලිය. මහජනයා දේශපාලන පක්ෂ නායකයන්ට, ජාතික නායකයන්ට මේ සූදුව නවත්වන ලෙස බලපෑම් කළ යුතුය. අප අමතක නොකළ යුත්තේ විභූතිමත් රෝම අධිරාජ්‍ය විනාශ කළේ බාබේරියන්වරුන් නැතිනම් මිලේච්ඡයන් බවය. මේ තත්ත්වය යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ තහවුරු නොකර මැතිවරණ පැවැත්වීම මඟින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට පුර්ව කොන්දේසියන් නැහැ යන්නට බොහෝ දෙනාගේ අදහස වුයේ ඊට කරන්නට දෙයක් නැහැ අපි වර්තමාන යථාර්තය පිළිගත යුතුය යන්නයි. දැන් අද ඒ යථාර්තයේ ප‍්‍රතිඵල අපට දැක ගැනීමට තිබේ. ස්වාධීන ආයතනයක් නැති වු විට, රාජ්‍ය බලය එක් පක්ෂයක් වෙත යොදන විට අනෙක් පාර්ශ්වයන් ඊට ප‍්‍රතික‍්‍රියා දක්වන තත්ත්වයක් යටතේ ඡන්දය යුද්ධයක් බවට පත් වී ඇත. මෙහිදී ප‍්‍රචණ්ඩත්වය වාර්තා කිරීම හැර මීට උත්තරයක් නැත.
මේ වෙනුවෙන් කළ යුත්තේ රාජ්‍ය ආයතන වගකිව යුතු ආකාරයෙන් හැසිරෙන බවට පරිවර්තනය වීමයි. එනිසා දැන් මෙය අභියෝගයකි. මෙහිදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පුර්ව කොන්දේසි නැතැයි අපි කීවම ආණ්ඩු පක්ෂය එතනදී විරුද්ධ වෙනවා. මන්ද පුර්ව කොන්දේසි ඇති නොකර සිටින්නේ ආණ්ඩු පක්ෂයයි. උදාහරණයක් ලෙස ව්‍යවස්ථාදායක සභාව පත් නොකර සිටින්නේ ජනාධිපතිවරයා. නමුත් එය විවේචනය කළ විට ජනාධිපතිවරයා විවේචනය කිරීමක් වෙනවා. එවිට ඔවුන්ගේ අදහස අප ආණ්ඩුවට විරුද්ධ බවයි. නමුත් එය නොකියා දෙපාර්ශ්වයේ ප‍්‍රචණ්ඩත්වයන් මෙපමණයි කියා මතු පිටින් කී විට එය ස්වාධීන යැයි කියයි. එනමුත් සන්දර්භයෙන් පිට මේ ප‍්‍රශ්ණය කථා කිරීමේ ඇති වැඩක් නැත. එනිසා සන්දර්භය තුළ ප‍්‍රචණ්ඩත්වය ගොඩ නැගෙන බව අප කිව යුතුයි. මෙහිදී මාධ්‍යයට ඉටු කිරීමට වැදගත් කාර්යභාරයක් ඇත. අවාසනාවකට මෙන් මාධ්‍ය මඟින් ඒ කාර්ය භාරය නිසි පරිදි ඉටුවීමක් අපට දක්නට නැත. මාධ්‍යයට බොහෝ හිරිහැර, ගැටලූ තිබෙන බව අප පිළි ගනී. නමුත් ඒ හිරිහැර මධ්‍යයේ වුවද මාධ්‍යයට ඒ වගකීමෙන් මිදිය නොහැක. අද මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය විශාල සංඛ්‍යාවක් බිහිවෙලා තියෙනවා. අද අපි මාධ්‍ය සාකච්ඡාවකට වාඩි වු විට මුලාසනය නොපෙනෙන තරමට මයික‍්‍රෆෝන් පිරී ඇත. නමුත් මාධ්‍ය මෙතරම් බහුල වුවත් මහජනයාගේ අදහස් වල බහුල බවක් නැත. මන්ද සියලූ දෙනා ලඟ ඇත්තේ එකම අදහස්ය. උදාහරණයක් ලෙස ජනාධිපති ජන හමුව ඇතිවිට සියළු නාලිකාවල විකාශය වන්නේ එයයි. වරක් වාසුදේව නානායක්කාර මහතා පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ පාලන කාලයේ මාධ්‍ය ගැන රසවත් කථාවක් කීවේය. දවසක් දා තමා මිත‍්‍රයෙකුගේ ගෙදරකට ගිය විටෙක එහි රූපවාහිනියේ ප‍්‍රවෘත්ති විකාශ වෙමින් තිබී ඇත. මේ ගෙදර සුරතලයට බල්ලෙක් ඇති කරන අතර ප‍්‍රවෘත්ති විකාශය ආරම්භයේ සිට අවසානය තෙක් බල්ලා වරින් වර රූපවාහිනිය ලඟට යයි. අපසු එයි. රූපවාහිනිය ලඟට යයි. අපසු එයි. පසුව පුදුමයට පත් වු වාසුදේව නානායක්කාර මහතා මිත‍්‍රයාගෙන් බල්ලාගේ හැසිරීම ගැන ඇසු විට මිත‍්‍රයා කීවේ බල්ලාගේ නම ශ‍්‍රීමත් බවය. එහිදී උපහාසයට ලක් කළේ එවකට ජනාධිපතිවරයාව සිටි පේ‍්‍රමදාස මහතාගේ නම ශ‍්‍රීමත් යන වැකිය සමඟ බොහෝ වාර ගණනක් රූපවාහිනියේ කියවීම පිළිබඳවය. එදා තත්ත්වය එසේ වුයේ ආණ්ඩුවේ නාලිකා දෙකක් තිබියදීය. අද සියළුම නාලිකා වල ජනපති ජන හමුව යන විට වාසුදේව නානායක්කාර මහතාට කථාවක් කීමට නැත්තේ තාමත් එවැනි බල්ලෙක් මුණ ගැසී නැති නිසා වන්නට ඇතිය. අද මාධ්‍ය බහුල වුවාට අදහස් බහුල වී නැත. මෙහිදී විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍යයන්ට ඇති වගකීම විශාලය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන විනාශ වීම නිසා ඇතිවන අරාජිකවීම් ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව ස්වාධීන මතයක් සමාජයට ඉදිරිපත් නොකරයි. මන්ද රජයේ මාධ්‍යය රජය වෙනුවෙන් තමාගේ භූමිකාව හොඳින් ඉටු කරයි. නමුත් ස්වාධීන මාධ්‍යයන්හි සිටින පිරිසට මතයක් නැත. ඔවුන් හැමවිටම කරන්නේ දෙපාර්ශ්වයන්ගේ කථා ගිරා පෝතකයන් සේ ජනතාව ඉදිරියේ කියවීමයිි. නමුත් අද ඉන් එහාට ගිය ස්වාධීන මතයක් අවශ්‍යයි. ප‍්‍රචණ්ඩත්වයෙන් ගැලවීමට නම් අප පළමුවෙන්ම මහජනයා විවෘත සමාජ සාකච්ඡාවකට ගෙන යා යුතුය. දෙවනුව ඒ මහජන සාකච්ඡාව තුළ මහජනයා පොළඹවා දේශපාලන පක්ෂ නායකයින්ට ප‍්‍රචණ්ඩ අපේක්ෂකයින් මැතිවරණ සඳහා යොදා ගැනීමෙන් වළකින ලෙසට බල කළ යුතුයි. තුන්වනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන අතර සම්ප‍්‍රදායන් ස්ථාපිත කිරීමට අපි පුළුල් ව්‍යාපාරයක් ඇති කළ යුතුය. එය ප‍්‍රචණ්ඩත්වයට විරුද්ධ වන සියළු දෙනාටම එකතු වීමට හැකි පොදු කාරණයක් විය යුතුයි. එය හුදෙක් විරෝධය පළ කිරීමට එහා ගිය වැඩ පිළිවෙලක් විය යුතුය.

Back to Home page

රෝගය සුව කරන්න බැහැ කියලා මිනිහෙක් මරලා දාලා හරියනවාද ?

මහාචාර්ය කාර්තිගේසු සිවතම්බි
සාකච්ඡා කළේ - තාරා ශ‍්‍රී රාම්


උගත් පුරවැසියෙක් ලෙස වර්තමායේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
සෑබැ දේශපාලනය තියෙන රටක මානව හිමිකම් ආරක්ෂා වෙන්න ඕන. ඒක සීමා වුණු දෙයක් නෙවෙයි. මානව හිමිකම් නැති දේශපාලනය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙනවා කියලා අපිට කියන්න බැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන බි‍්‍රතාන්‍ය ආකෘතිය අරන් බහුතරයට ඉඩ දෙනවා කියන එකේ තේරුම සුළු ගණන් වලින් ඉන්න අයව හෙට මරලා දාමු කියන එක නෙවෙයි. දෙමළ සිංහල කියන සාධකය පැත්තකින් තියලා අපි හිතමු එක මිනිහෙක් රෝගියෙක්. අනෙකා නීරෝගී අයෙක් කියලා. එතකොට අර රෝගී මිනිහාගේ රෝගය සුව කරන්න බැහැ කියලා එයාව මරලා දාලා හරියනවාද?

රටක මානව හිමිකම් අදාළ වන්නේ ඒ රටේ ජීවත් වෙන සුළු ජාතික ජනතාවට පමණක්ද?
නැහැ. හැම මිනිහටම අදාළයි. ඇත්තටම මානව හිමිකම් ගැන වැඩියෙන් උනන්දු වෙන්න ඕන බහුතර මිනිස්සු. අනෙක Minority වලට සුළු කියන භාෂාව පාවිච්චි කිරීම සුදුසු නැහැ. සිංහල භාෂා සම්ප‍්‍රදායෙන් සුළු කියන එක හරි වුනත් සාමාන්‍ය සිංහලෙන් සුළු කිව්වම ඒකට වෙන අර්ථයක් තියෙනවා. ගණන් වශයෙන්, තොග වශයෙන් බලන කොට මම සුළු වෙන්න පුළුවන්. නමුත් මම සුළු ජාතිකයෙක් නෙවේ. එහෙමනම් ඉන්දියාව එක්ක බලන කොට සිංහලයිනුත් සුළු ජාතිකයින්. ලංකාවේ සුළුජාතීන් කියන්නේ ගණන් ගන්න ඕන නැහැ කියන අර්ථයෙන් හඳුන්වන්නේ, සුළු කියන වචනෙට සාමාන්‍ය සිංහල භාෂාවේ කියන්නේ Not Very Serious කියන අර්ථය. ඒ නිසා Minority වලට අපි වෙන වචනයක් භාවිතා කරන්න ඕනි. සිංහල මිනිහාගේ සිංහල දෙමළ අනන්‍යතාවයට, දෙමළ මිනිහගේ අනන්‍යතාවයටත්, මුස්ලිම් මිනිහාගේ මුස්ලිම් අනන්‍යතාවයට පාඩුවක් නැතුව ලාංකිකයන් විදිහට ජීවත් වෙන්න ඉඩක් හදන්න ඕන.

ආණ්ඩුවේ තර්කය නැගෙනහිර මුදාගත් පසුව එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළ ආකාරයටම අනෙක් ප‍්‍රදේශවලත් යුද්ධය අවසන් කරලා ඒ ප‍්‍රදේශවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරනවා යන්න. ඒ පිළිබඳව ඔබේ අදහස.
මෙතෙක් ඔවුන් එහෙම කරලා තියෙනවා නම් හොඳයි. මඩකලපුවේ ඉන්න සාමාන්‍ය ජනතාව ඒක පිළිගන්නවා නම් මමත් ඒක පිළිගන්නවා. නමුත් ඕක රජයේ මතයක් විතරයිනේ. මොන ආණ්ඩුවත් එහෙම කියනවා. මේක ලංකාවේ පලවෙනි ආණ්ඩුව නෙවෙයි. ඒනිසා ඔය ප‍්‍රශ්ණෙට කෙලින් පිළිතුරක් දෙන එක එතරම් හොඳ නැති බවයි. මගේ අදහස.

යුද්ධ කර ප‍්‍රදේශ මුදා ගැනීමට පෙර ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ගැන කතා කරන්නන් රජය විසින් දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීම පිළිබඳව ඔබේ අදහස.
කවුරු කාට විරුද්ධදවද යුද්ධ කරන්නේ ? යුද්ධෙ කොහොමද ඇති වුනේ ? ත‍්‍රස්තවාදය කියන්නේ මොකක්ද? ත‍්‍රස්තවාදය කියලා අපි කියපු JVP එක අද දේශපාලනයේ නැද්ද ? මොන හේතුවක් නිසාද ඔවුන් මාරුවුනේ ? ඒවාගේ මාරු වෙන්න අනිත් අයට ඉඩක් නැද්ද? නිකන් සෝබන කතා කරලා වැඩක් නැහැ. තුන්වන ලෝකයේ රටවල අපි මොන දේටත් බයයි. කොටින්ම අද අපි කෙලින් අදහස් ප‍්‍රකාශ කරන්න බයයි. ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න.

ආණ්ඩුව නැගෙනහිර ඡන්දය දින්නා. පසුගියදා සබරගමුව සහ උතුරු මැද පළාත් සභා ඡන්දයත් බහුතරයකින් ජයග‍්‍රහණය කළා. මෙයින් අදහස් වෙනවාද රජය වර්තමානයේ ගෙනයන පාලන ක‍්‍රමය සිංහල හා දෙමළ ජනතාව අනුමත කරනවා කියලා.
මම ඒක දන්නේ නැහැ. නමුත් ආණ්ඩුව එහෙම කියනවා. නැතුව ආණ්ඩුව වෙන මොන විදිහකින් කියන්නද. දැන් ආණ්ඩුව කියන්නේ කියන්නේ කවුද. මහින්ද රාජපක්ෂ විතරයි. දැන් භීෂණ කරන්න JVP එකක් නැහැ. මහින්ද රාජපක්ෂ ගැන හොඳ බලාපොරොත්තුවක් තිබුනා. ඒක ඉෂ්ට වුනාද නැද්ද කියන්න මම දන්නේ නැහැ.

ජනතාව තමන් ඡන්දයෙන් දිනවීම තමන්ට යුද්ධය අවසන් කිරීමට දුන් ජනවරමක් කියලා ආණ්ඩුව ප‍්‍රකාශ කරනවා.
යුද්ධයෙන් ජයග‍්‍රහණය කරනවා කියනවා නම් ඒක හොඳයි. නමුත් ඔය අහස් යානයෙන් බෝම්බ දානකොට කොටියට විතරක්ද ඒක බලපාන්නේ. එතන ඉන්න සාමාන්‍ය මිනිහාට ඒක වැටෙන්නේ නැද්ද? පාසල් වලට වැටෙන්නේ නැද්ද? රෝහල් වලට වැටෙන්නේ නැද්ද? ඒ නිසා දකුණේ මිනිස්සු මානුෂිකව හිතන්න ඕන. යාපනය කියන්නේ වෙන රටක් නෙවෙයි. මේ රටේම කොටසක්. මම දකුණේ හිටියත් අරක්ෂාව ඕන වගේම උතුරේ, හිටියත් ආරක්ෂාව ඕන.

ජනවාර්ගික ගැටලූවට විසඳුමක් ලෙස ඔබ යෝජනා කරන්නේ මොකක්ද?
මුලින්ම එහෙම ප‍්‍රශ්ණයක් තියෙනවා කියලා අපි පිළි ගන්න ඕන. පිළි ගන්තට විතරක් බැහැ. මේ වගේ ප‍්‍රශ්ණ තිබුන අනෙක් රටවල් වල ඒක විසඳා ගන්නේ කොහොමද කියන එක අධ්‍යනය කරන්න ඕන. දෙපාර්ශ්වය හෝ UN වගේ තුන්වැනි පාර්ශ්වයක් මැදිහත් කරගෙන යම්කිසි එකඟතාවයකට එන්න ඕන. එහෙම නැත්නම් තුන්වැනි පාර්ශ්වයක් නැතිව හෝ අපි රට ඇතුළේම මේ ප‍්‍රශ්ණය විසඳා ගන්න පුළුවන්. මම ලාංකිකයෙක්. ඒ වාගේම අනෙක් මිනිස්සුත් ලාංකිකයෝ. මට තියෙන අයිතීන් ඔක්කෝම අනිත් මිනිහටත් තියෙනවා. මට තියෙන යුතුකම් ඔක්කෝම අනිත් මිනිහටත් තියෙනවා. ඒ ගැන අපි කතා කරන්නේ නැහැනේ. අපි යුතුකම අමතක කරලා අයිතිය ගැන විතරයි කතා කරන්න පුරුදු වෙලා තියෙන්නේ. අපි එංගලන්තයට ගිහින් අයිතිවාසිකම් ඉල්ලූවේ නැහැ. මේක අපි උපන් රට. මගේ උපන් රටේදී මට උරුම අයිතිවාසිකම් තියෙනවා. මම දෙමළ භාෂාව කතා කලා කියලා මම ඉන්දියානු දෙමළ වෙන්නේ නැහැ. කරුණාකරලා ඒක සඳහන් කරන්න. මමත් ඔබ අද වගේ. මේ රටේ මිනිහෙක්. රටේ නිදහස වෙනුවෙන් සටන් කරනවා කිව්වාට අපිට කවදාවත් නිදහස් අරගලයක් තිබිලා නැහැ. පොන්නම්බලම් රාමනාදන්, අරුණාචලම් වගේ නම් මන්තරයක් වගේ කියෙව්වාට එන්. එම් පෙරේරා. කොල්වින් ආර් ද සිල්වා වගේ වාමාංශිකයෝ එදා කිව්වා මේක සැබෑ නිදහසක් නෙවෙයි කියලා. ඉතිං එහෙම ටිකෙන් ටික ලොකු වෙලා ආපු මේ ප‍්‍රශ්නය තමයි අද ඔඩු දුවලා තියෙන්නේ. අපි තාමත් ඒකට මොකක්ද කරන්නේ ? අපි තවම ඒ ගැන කතා කරන්නේ නැහැ.

Back Home Page