Thursday, June 18, 2009

නිදහසේ වේදිකාව දේශපාලන කුණාටුවලට හසුවෙන්නේ නැහැ

නිදහසේ වේදිකාව ගොඩනැඟුණේ ජීවත්වීමේ අයිතිය සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කරගැනීම සඳහා පුළුල් මහජන බලවේගයක් ගොඩනැඟීමේ අරමුණෙනි.
බහුජන සංවිධාන, ජනමාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂවල එකමුතුවෙන් ගොඩනඟන ලද නිදහසේ වේදිකාවේ කටයුතු මෙහෙයවීම සාමාජිකයන් විසින් තෝරා පත්කරන ලද මෙහෙයුම් කමිටුවක් මඟින් සිදුවේ. මෙහෙයුම් කමිටුව දේශපාලන පක්ෂවලින් පරිබාහිරව සහ ස්වාධීනව ක‍්‍රියාත්මක වන අතර නිදහසේ වේදිකාවට සම්බන්ධ දේශපාලන පක්ෂ සමඟ කලින් කලට සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නියෝජිතයන් සහ මෙහෙයුම් කමිටු නියෝජිතයන් සහභාගී වන උපදේශක මණ්ඩලයක් පිහිටුවා ඇත.
සිවිල් සමාජ සංවිධාන අද මුහුණ දී ඇති අභියෝග පිළිබඳ සාකච්ඡා සභාවක් සහ දේශපාලන පක්ෂ නායකයන් සමඟ සංවාදයක් ජුනි මස 26 වන සිකුරාදා දවස පුරා කොළඹදී පැවැත්වීමට නිදහසේ වේදිකාව කටයුතු සුදානම් කරමින් සිටියි.
නිදහසේ වේදිකාව පැමිණි සහ ඉදිරි ගමන් මග පිළිබඳ සමබිම සමඟ කතාබහකට අප හවුල් කර ගත්තේ මෙහෙයුම් කමිටු සමාජිකයෙකු වන හර්මන් කුමාර මහතාය. ප‍්‍රවීණ සමාජ ක‍්‍රියාදරයෙකු වන ඔහු ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මෙන්ම ලෝක ධීවර ජනතා සම්මේලනයේ ලේකම්වරයාද වෙයි.


මොකක්ද නිදහසේ වේදිකාව කියන්නේ ?
අද සමාජයේ තියෙන්නෙ ප‍්‍රධාන මත වලට විතරක් ඉඩකඩ ලබා දෙන වාතාවරණයක්. සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්තගේ මරණයත් සමඟ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක තිබිය යුතු නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමේ හා ජීවත් වීමේ අයිතිය වගේම යම් මතයක් දැරීමේ හිමිකම අහෝසි වී ගියා. විශේෂයෙන්ම මාධ්‍යවේදීන්, සමාජ ක‍්‍රියාකාරිකයන් සහ දේශපාලනඥයින්ට රජය නියෝජනය කරන ප‍්‍රධාන ධාරවේ මතය හැර වෙනත් මතයක් දැරීමට තිබු ඉඩකඩ ඇහිරුණා. මෙවැනි පසුබිමක් තුළයි ලසන්තගේ මරණයෙන් පසු නිදහසේ වේදිකාව බිහිවුණේ. එහිදී නිදහසේ වේදිකාව ප‍්‍රධාන වශයෙන් පෙනී සිටියේ භාෂණයට හා ජීවිතයට ඇති අයිතිය වෙනුවෙන්. පැවති වාතාවරණය තුළ එය පහසු කටයුත්තක් වුණේ නැහැ. විශේෂයෙන් ම මෙම සමාජ ප‍්‍රතිසංස්කරණය සඳහා පවතින සමාජ, ආර්ථික, දේශපාලන ක‍්‍රියාවලිය වෙනස් කළ යුතුයි යන්න අපේ තර්කය වුණා. නිදහසේ වේදිකාව තුළින් පවතින අධිපතිවාදී පාලනය සහ ඒ ඔස්සේ සිදුවන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා හඳුනා ගත්තා. ජීවත් වීමට හා භාෂණයට ඇති අයිතියට අමතරව එතුළින් ඉස්මතු කරන ප‍්‍රධාන කාරණා පහක් තිබෙනවා. පළමු වැන්න අද පවතින විධායක ජනාධිපති ක‍්‍රමය නිසා රට බරපතල අර්බුදයකට යාම. එනිසා ඒ සඳහා පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති කෙනෙක් හෝ නීතියට යටත්වන, බැඳෙන, අසීමිත බලතල රහිත, පුද්ගලයෙක් හෝ තනතුරක් ස්ථාපිත කළ යුතුයි යන්න අපේ තර්කයයි. දෙවැන්න අද රටේ බරපතලම ගැටළුව වන ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍යයි යන්න. නිදහසේ වේදිකාව ඒ සඳහා කතිකාවක් ඇති කර යෝජනවලියක් ගෙනවිත් තිබෙනවා.තුන්වැනි කාරණය සමාජයේ බලය අයුතු ලෙස භාවිතා කිරීම, නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම,මැතිවරණ ක‍්‍රමය ඇතුළු බොහෝ සමාජ ක‍්‍රියාකාරීත්වයන් බරපතල ලෙස ඳුෂිත වීම නිසා මෙරට යහපාලනයට හා ස්වෛරීත්වයට දරුණු ලෙස බලපෑම් සිදුවීම වැළැක්විය යුතුයි යන්නයි. මීළඟ කාරණය ඳුෂණය, අල්ලස, මැරකම, අධිකරණ ස්වාධීනතාව ගිලිහීම, පොලිසියේ නීතිගරුකභාවය පිටුදැක යහපාලනයක් ඇති කළ යුතුයි යන්නයි. පස්වැන්න අද රටේ ඇති වී තිබෙන ආර්ථිකය පරිහානියයි. විශේෂයෙන්ම කුඩා නිෂ්පාදන කර්මාන්තකරුවන්, වතු කම්කරුවන් ,ධීවරයන් ගොවියන් බරපතල වෘත්තීය පිඩනයකට යට වෙලා. ඔවුන්ට සාධාරණ වැටුපක්, අයිතිවාසිකමක් දිනා ගන්න පුළුවන් පසුබිමක් ඇති කිරීමට නිදහසේ වේදිකාව පෙනී සිටිනවා. මේ කාරණා පහ සමඟ දිවෙන දැවැන්ත සමාජ ක‍්‍රියාකාරී බලවේගයක් ඇති කිරීම අපගේ දිගු කාලීන අරමුණයි. බලයට එන පිරිස සමඟ පාරදෘශ්‍ය,විවෘත, විවේචනාත්මක, කතිකාවක් බිහි කිරීමට, රටට යෝග්‍ය සුභ සාධනවාදී පාලනයක් ඇති කිරීමට සියළු සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, දේශපාලන හා වෘත්තිකයන් පක්ෂ ඒකාරාශී කිරීම නිදහසේ වේදිකාවේ අරමුණයි.

නිදහසේ වේදිකාව හරහා දැනට ක‍්‍රියාත්මක වෙමින් පවතින කටයුතු මොනවාද ?
නිදහසේ වේදිකාව සිවිල් සමාජ සංවිධාන විසින් මෙහෙයවන බලවේගයක්. එහි කටයුතු සිදුවන්නේ මෙහෙයුම් කමිටුවෙන්. එමඟින් ප‍්‍රධාන වශයෙන්ම දැනට අරඹා ඇත්තේ මුලික ජන පදනම සකස් කර ගැනීමයි. නිදහසේ වේදිකාව පුළුල් සමාජ ක‍්‍රියාකාරිත්වයක් බවට පත්කිරීමට දිස්ත‍්‍රික් මට්ටමින් මානව හිමිකම් සංවර්ධනය උදෙසා ක‍්‍රියාකරන සංවිධාන හා සාකච්ඡා අරඹා තිබෙනවා. මේ වන විට අපි මහනුවර, කුරුණෑගල, හම්බන්තොට, නුවරඑළිය, ගාල්ල, මාතර, රත්නපුර, පොතුවිල්, අනුරාධපුරය, ගම්පහ, කොළඹ, මාතලේ යන පළාත්වල දිස්ත‍්‍රික් මට්ටමින් මහජන සභා, කුඩා පුද්ගල කණ්ඩායම් සහ කමිටු හරහා සම්බන්ධතා ජාලයක් සමඟ ජන පදනමක් ගොඩනගමින් සිටිනවා. ඒ සඳහා නිදහසේ වේදිකාවේ පිරිස වගකීම් බෙදාගෙන සිටිනවා. මේ වන විට සංවිධානාත්මකව පවත්වන ලද මහජන සභා හරහා ඒ ඒ පළාත්වල යම් ආකාරයක පිබිදීමක් අපි දැක්කා. ඔවුන් තුළ නිදහස් පුරවැසි අයිතිය වෙනුවෙන් එකතු විය යුතුය යන විශ්වාසයක් සමඟ මේ වේදිකාවට ගොඩවීමේ අවශ්‍යතාවයක් ද ඇති වී තිබෙනවා. භාෂණය හා ජීවත් වීමේ අයිතිය පිළිගන්නා ඕනෑම කෙනෙකුට නිදහසේ වේදිකාවට ගොඩ විය හැකියි. පසුගිය පළමුවෙනිදා පෝද්දල ජයන්තට පහරදුන් අවස්ථාවේ දේශපාලන පක්ෂ, වෙනත් කණ්ඩායම් හා විශේෂයෙන්ම මාධ්‍ය සංවිධාන පෝද්දල වෙනුවෙන් පෙනී සිටීමට ‘මෙය සුදුසු වෙලාව නොවන බව’ ප‍්‍රකාශ කරන විට එම අවදානම දරාගෙන පාරට බැස්සේ නිදහසේ වේදිකාවයි. මේ අවස්ථාවේ කුමක් කරන්නද කියමින් බිය වැදී සිටි මිනිසුන්ගේ එම බිය 10 වෙනිදා පෝද්දල වෙනුවෙන් අප කළ ක‍්‍රියාකාරිත්වය තුළින් තුරන් වු බව පැහැදිලිව ප‍්‍රකාශ වුණා. නිදහසේ වේදිකාව උපාය මාර්ගික වශයෙන් දිගු කාලීන ව්‍යුහාත්මක වෙනස්කමක් සඳහා ක‍්‍රියාත්මක වීම වගේම වර්තමානයේ ජීවත්වීමට තර්ජනයන් මතුවන අවස්ථාවලදී ඒ වෙනුවෙන් නොබියව පෙනී සිටිනවා.

නිදහසේ වේදිකාව පිළිබඳ ඔබගේ තක්සේරුව කුමක්ද?
මේ සමාජ ව්‍යූහය තුළ දේශපාලන රික්තකයක් මා දකිනවා. සමාජය බරපතල විදිහට දේශපාලන පක්ෂ මත පදනම් වෙලා. පුරවැසියෙක් වැඩ කරන පක්ෂය බලයට ආ පසු ඔවුන් කුමන වරදක් කළත් පුරවැසියා තුළ ඇති දේශපාලන අන්ධභාවය නිසා එය දකින්න ඉඩක් නැහැ. නිදහසේ වේදිකාව කියන්නේ ඒ ඒ වෙලාවට එන දේශපාලන කුණාටුවලට හසුවන හෝ මැදිහත් වන ක‍්‍රියාකාරකයක් නොවේ. රටේ පවතින දේශපාලන ව්‍යුහයේ වෙනසක් ඇතිවිය යුතුයි මෙන්ම එය පුද්ගලයන් වෙනස් කිරීමෙන් නොව ව්‍යුහය වෙනස් කිරීමෙන්ම කළ යුතුයි යන්න අපේ අදහසයි. නිදහසේ වේදිකාව මේ වන විට ඒ වෙනුවෙන් වීදි බැස සිටින එකම සමාජ බලවේගයයි. මෙය සියල්ලන්ටම විවෘත සමාජ, ආර්ථික, දේශපාලන පුළුල් කතිකාවක් ඇතිකර ගැනීමට ඇති සංවාදාත්මක වේදිකාවක්.

ඔබ ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ ලෝක ධීවර ජනතා සංගමයේ ලේකම් යන තනතුරු දරනවා. ඔබ ඇයි නිදහසේ වේදිකාවට සම්බන්ධ වුණේ ?
සමාජයේ හරි දේ සහ නිවැරදි දේ සඳහා පෙනී සිටීමටයි අපි උත්සාහ දරන්නේ. එතනදී ප‍්‍රධාන ධාරාවේ ක‍්‍රියාකාරිත්වය නිවැරදි නැහැ කියා හිතෙනවා නම් එය නිවැරදි කිරීමට වැඩ කරන්න අප බිය විය යුතු නැහැ. ගොවියන්, ධීවරයින්, වතු කම්කරුවන් සමඟ අපි මෙතෙක් කරමින් සිටියේ එයයි. මීට පෙර එවැනි ක‍්‍රියාකාරිත්වයන් සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් තිබුණා. නමුත් අද ප‍්‍රති විරුද්ධ මතයක් ප‍්‍රකාශ කිරීමට ඔවුන් බයයි. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කරන්න නම් මේ සමාජ වික්ෂිප්තභාවය නැති කළ යුතුයි. මීට පෙර ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා වෙනසක්, ජාතික සමගිය හා ජනවාර්ගික සුහදතාවය වෙනුවෙන් පෙනී සිටි, එය විශ්වාස කළ ඇතැම් කණ්ඩායම් ම අද කාලා ඇඳලා ඉන්නට තිබුණාම ඇති කියා කියනවා. එය අනාගතයේ මීට වඩා භයානක ලේ වැගිරීමකට හා අර්බුදයකට රට තල්ලූ කිරීමක්. සුළු පිරිසක් අද රට ආර්ථික වශයෙන් කොල්ල කනවා. කොමිස් - කොන්ත‍්‍රාත් හරහා වංචා, ඳුෂණ කරන මේ ක‍්‍රමය වෙනස් කිරීමට පුළුල් ජාතික ව්‍යාපාරයක් අවශ්‍ය නිසයි නිදහසේ වේදිකාවට ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය එකඟතාව පළ කර සිටින්නේ.

මෙයට සිවිල් සමාජ ව්‍යාපාරවලට අමතරව ප‍්‍රධාන විපක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ එකතු වී සිටිනවා. මේ එකතුව ඔබ දකින්නේ කෙසේද?
ප‍්‍රධාන දේශපාලන පක්ෂ පමණක් නොවෙයි වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන සහ අනික් කණ්ඩායම් නිදහසේ වේදිකාව සමඟ එකතු වී සිටින්නේ උපදේශාත්මක මට්ටමෙන් පමණයි. මෙහි ප‍්‍රධාන කටයුතු මෙහෙයවන්නේ සහ තීන්දු තීරණ ගන්නේ සිවිල් සමාජ සංවිධාන මෙහෙයුම් කමිටුව විසින්. ඔබ කියන දේශපාලන පක්ෂවල මැදිහත්වීමකින් තොරව මෙම ව්‍යුහය වෙනස් කළ නොහැකියි. ඔවුන් තමයි යම් දිනක යළි බලයට එන්නේ. මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මූලයන් හඳුනා ගැනීමට නිදහසේ වේදිකාව ඔවුන් සමඟ කරන ගනුදෙනුව ඉතා වැදගත්. නමුත් අතීත අත්දැකීම් අනුව ඔවුන් බලයට ආ විට සමාජ ව්‍යුහයේ වෙනස්කමක් කිරීමට එකඟ වෙයි කියා පුර්ව සාධාරණ විශ්වාසයක් අප තුළ නැහැ. එ්නිසා මා ඉහතින් සඳහන් කළ කාරණා පහ වෙනුවෙන් පෙනී සිටීමට දේශපාලන පක්ෂ සමඟ එකඟතාවක් ඉදිරියේදී ඇති කර ගන්නවා.

නිදහසේ වේදිකාවේ ඉදිරි වැඩපිළිවෙල කුමක්ද ?
ඉදිරියේදී මුලින් සඳහන් කළ කාරණා පහ වෙනුවෙන් පෙනී සිටීමට ඒකාබද්ධ විපක්ෂය හා අනෙක් විපක්ෂ කණ්ඩායම් සමඟ පුළුල් එකඟතාවයක් සහිත අවබෝධාත්මක ගිවිසුමක් ඇති කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒත් සමඟම ජාතික සමුළුවක් කැඳවා රටේ උද්ගත වී ඇති තත්ත්වයට හේතු වී ඇති මෙම කාරණා වෙනස් කිරීමටත්, නව යෝජනා පෝෂණය කිරීමටත් එකිනෙක ක්ෂේත‍්‍ර හැටියට ඔවුනොවුන්ගේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මගේ අදහස ඒ සඳහා අනුමැතිය ගතහැකි ක‍්‍රියාකාරිත්වයක් සඳහා පුරවැසි කමිටු ඇතිකළ යුතුයි. එයට සමාජ ව්‍යාපාර මෙහෙයවන ක‍්‍රියාදරයන් හඳුනාගෙන ඔවුන් පුහුණු කිරීමේ ක‍්‍රියාවලියකට අපි ගමන් කරනවා. ඒවාගේම වෙනත් රටවල මෙවැනි නිදහස් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගල සිදුවුණේ කොයි ආකාරයටද, කොහොමද සහ ඒවා පුළුල් ව්‍යාපාර බවට පත් වුණේ කෙසේද කියා අපි විමසිලිමත් වෙනවා.

Back to home....

Monday, June 15, 2009

බන්ධනාගාරය කාර්යක්ෂම ආයතනයක් බවට පත්කළ යුතුයි

ටක අභ්‍යන්තර තත්ත්වය පිළිබඳ සැබෑ අවබෝධයක් ලබා ගැනීමට විවිධ මිනුම් දඬු පවතී. අපරාධ යුක්ති පද්ධතිය ඉන් ප‍්‍රමුඛ වන අතර එරට සිටින සිරකරුවන්ගේ තත්ත්වය රටේ අභ්‍යන්තරය ගැන බොහෝ කරුණු කියාපායි. එය රාජ්‍යය යන්නේ සිට පවුල නම් ඒකකය දක්වා මැනගත හැකි තීරණාත්මක මිනුම් දණ්ඩකි. මෑත කාලයේ ලංකාවේ බන්ධනාගාර ගත සිරකරුවන් ජාත්‍යන්තර මට්ටමේ නිරීක්ෂණයකට නිරාවරණය වුයේ 2007 වර්ෂයේය. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කෲර හා අවමන් සහගත, අමානුෂික වධහිංසා පිළිබඳ විශේෂ නියෝජිත මැන්ෆ්‍රෙඞ් නොවැක් විසින් 2007 ඔක්තෝම්බර් 01 සිට 08 දක්වා කාලය තුළ ශ‍්‍රී ලංකාවේ සංචාරයක යෙදී ඉදිරිපත් කළ වාර්තාව ඔස්සේය. එම වාර්තාවේ රජය සපයන ලද සංඛ්‍යා දත්ත අනුව ලංකාවේ සියලූ බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් ප‍්‍රමාණය 8200 වුවත් සත්‍ය ලෙසම රඳවා සිටින රැඳවියන් ගණන 28,000ක් ලෙස පෙන්වා දී ඇත. එසේම මෙලෙස රඳවා තබා ගැනීමම කෲර හා අවමන් සහගත තත්ත්වයක් බවට ජාත්‍යන්තර හා ප‍්‍රාදේශීය මානව හිමිකම් කාර්යාංශ පෙන්වා දී තිබුණු බවද තවදුරටත් ඔහුගේ වාර්තාවේ සඳහන්ය. ඒ අනුව මෙරට බන්ධනාගාරවල තත්ත්වය පිළිබඳ සමබිම කරන ලද විමර්ශනයක් ඇසුරෙන් මෙම ලිපිය සකස් වේ.



බන්ධනාගාරය කාර්යක්ෂම ආයතනයක් බවට පත්කළ යුතුයි
බන්ධනාගාර කොමසාරිස් - මේජර් ජෙනරාල් වී.ආර්. සිල්වා

ඔබට අනුව බන්ධනාගාර ආශ‍්‍රිතව තිබෙන ප‍්‍රධාන ගැටලූ මොනවාද ?
අප තවම භාවිතා කරන්නේ එදා ජනගහණයට සාපේක්ෂව ඉදි කළ පැරණි ගොඩනැඟිලි. එනිසා වැඩිවන රැඳවියන් සහ සිරකරුවන්ට ප‍්‍රමාණවත් ඉඩකඩ සහිත ගොඩනැගිලි නොමැතිවීම ප‍්‍රධානතම ගැටලූව ලෙස මම දකිනවා. ඊට අමතරව පහළම බන්ධනාගාර නිළධාරියාගේ සිට කොමිෂනර් ජෙනරාල් දක්වා සිටින නිළධාරින් සංඛ්‍යාව අඩු වීමත් ප‍්‍රධානතම ගැටළුවක්. රැඳවියන්ට සමගාමීව තවම සිටින්නේ මුල් කාලයේ අනුමත කළ සංස්ථාවටත් අඩු නිළධාරින් පිරසක්.

බන්ධනාගාරවල නඩත්තුව සඳහා මුදල් ප‍්‍රතිපාදන වෙන්වන්නේ කොහෙන්ද?
බන්ධනාගාර සඳහා මුදල් වෙන් වන්නේ මුදල් අමාත්‍යාංශයෙන්. ඒවා අධිකරණ අමාත්‍යාංශය හරහා අප වෙත ලැබෙන්නේ.

ඒවා බන්ධනාගාර නඩත්තු සඳහා ප‍්‍රමාණවත් ද?
එදිනෙදා වැඩ කටයුතු වලට බලාපොරොත්තු වෙන මුදල් ප‍්‍රමාණයක් අපට ලැබෙනවා.

ඇතැම් බන්ධනාගාර නිළධාරින්ට එල්ල වන දුෂණ චෝදනා වෙනුවෙන් දෙපාර්තමේන්තුව ගන්නා පියවර මොනවද?
දූෂණ චෝදනාවක් නිළධාරියෙකුට එල්ල වුණොත් ඒ වෙනුවෙන් නියමිත ක‍්‍රියාපටිපාටියකට අනුව විනය පරීක්ෂණයක් ඇතුළුව දීර්ඝ කාලීන පරීක්ෂණ කටයුතු සිදු කෙරෙනවා.

බන්ධනාගාරවල තත්ත්වය මීට වඩා සතුටුදායක කිරීමට ඔබ කරන යෝජනා මොනවාද ?
පළමුව බන්ධනාගාරය කාර්‍යක්ෂම ආයතනයක් බවට පත්කළ යුතුයි. ඒ තුළින් පරිපාලන ක‍්‍රියාකාරිත්වයේ විනිවිඳභාවයක් ඇතිකල යුතුයි. එහෙම වුණොත් විතරයි ඕනෑම ආයතනයක් නිවැරදි මඟ යන්නේ. දෙවනුව ඉන්න නිළධාරින්ගේ විනය මට්ටම ඉහළ නැංවීම අත්‍යවශ්‍යයි. ඒ වාගේම තාමත් ලංකාවේ මූලස්ථානය දෙන්නේ රැඳවියන්ට. ඔවුන් බලාගන්නා නිළධාරින්ට අවශ්‍ය මුලික පහසුකම්, ඊට සම්බන්ධ දේවල් හා අනුමත සංස්ථාව අනුව සිටිය යුතු නිළධාරින් ප‍්‍රමාණයක් පිහිටුවිය යුතුයි. සමහර නිළධාරින්ට වගකීම සහ අධිකාරිය පැවරුණත් නියමිත පරිදි ඔවුන්ට නිලයක් (rank) ලබා දීල නැහැ. ඒ නිසා උසස් කිරීම් ප‍්‍රමාද වීම තුළින් සුදුසුකම් සපුරා තිබෙන නිළධාරින්ගේ මානසිකත්වයේ පහළ බැසීමක් සිදුවිය හැකියි. ඒ තත්ත්වයන් නැතිවිය යුතුයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව කාර්යශීලි දෙපාර්තමේන්තුවක් කිරීම වගේම රැඳවියන්ට අධ්‍යාපනය දෙන ආයතනයක් බවට එය පත්කර ඔවුන්ට හා රටට ප‍්‍රයෝජනවත් වන ලෙස ඔවුන්ගේ මනසයි, හිතයි සකස් කිරීමයි මගේ අරමුණ.



බන්ධනාගාරය වරදකරුවන් ගාල් කරන තැනක් නොවෙයි
නිරංජි විජේවර්ධන
අපරාධ විද්‍යාව කථීකාචාර්ය
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ලංකාවේ දැනට බන්ධනාගාරවල තත්වය පිළිබඳ ඔබගේ මතය
සරළම අර්ථයෙන් කියනවා නම් බන්ධනාගාරයක මූලික අරමුණ වැරදිකරුවෝ පුනුරුත්ථාපනය කිරීමයි. එයින් වැරදිකරුවෝ සමාජයේ නිදැල්ලේ හැසිරීම පාලනය කිරීමක් අපේක්ෂා කරනවා. නමුත් එසේ වෙන් කොට තැබීම තුළ එම පුද්ගලයා සමාජයෙන් හුදකලා කිරීම හෝ කොන්කිරීම කියන එක පමණක් අපේක්ෂා කළ නොහැකියි. බන්ධනාගාරයක අපේක්ෂාව විය යුත්තේ මොවුන් පුනුරුත්ථාපනය කිරීම. වර්ථමානයේ අපරාධ රටාව අධ්‍යනය කරන විට අපි දකින විශේෂත්වය අපරාධකරුවෝ නැවත නැවත වැරදි කර බන්ධනාගාරගතවීම. එහි ඇති භයානක පැතිකඩ වන්නේ බන්ධනාගාර අපරාධ උගන්වන විශ්ව විද්‍යාල ලෙස මතයක් සමාජය තුළ බිහිවීමයි. එය න්‍යායක් ගොඩනැගීමට තරම් ශක්තිමත් වු කියමනක් බවට පත්වෙලා. අතීතයේ සකස් කළ බන්ධනාගාරමයි අද වන විටත් භාවිතයේ පවතින්නේ. එදා සුළු පිරිසක් බන්ධනාගාර ගතවුවද අද වන විට එය සංඛ්‍යාත්මකව වැඩිවී තිබෙනවා. මේ සියලූදෙනාම වයස් භේදයකින් තොරව, වරදේ ස්වභාවය කුමක්දැයි හදුනා නොගෙන එකට රඳවා තැබීමෙන් තමා වටා සිටින සමුහයාගෙන් අපරාධ කළයුතු තාක්ෂණය කුමක්ද, අපරාධයක් සිදුකර සැඟවී සිටින්නේ කොහොමද ආදිය ඉගෙන ගන්නවා. ඒ වගේම ඔවුන් එම පරිසරය තුළ ‘මම විතරක් නොවෙයි මෙය කරන්නේ ’කියා තමන්ටම අපරාධ සාධාරණීකරනය කරගන්න පෙළෙඔනවා. එයට හේතුව අවට සියල්ලන්ම වරදකරුවන් වීමයි. එනිසා සිය චරිත තුළට වීරත්වයක් ආරෝපණය කර ගැනීමකුත් සිදුවෙනවා. අවසානයේ ඔවුන් තම ක‍්‍රියාකාරිත්වයන් සාමාන්‍යකරණය කරගන්නවා. මොවුන් වෙනුවෙන් රජය විශාල පිරිවැය වියදමක් දරනවා. නමුත් සෑම විටෙකම බන්ධනාගාරවලින් පිටව යන කොටසක් නැවත පැමිණ අපරාධ සිදුකරන ස්වභාවයකුයි දකින්න ලැබෙන්නේ. ගොඩනැඟිලි ප‍්‍රමාණය, නිළධාරින් මදිකම, වර්ථමානයට සරිලන නව බන්ධනාගාර ක‍්‍රමයක අඩුව ඇතුලූ තවත් කාරණා රාශියක් ඊට බලපානවා. මෙම තත්වය වැලිකඩ බන්ධනාගාරය තුළ මනාව දැකගත හැකියි. එවැනි තත්වයක් තුළ පුනුරුත්ථාපනය සිදුකළ නොහැකියි. ඒ නිසා අපරාධ යුක්ති පටිපාටිය තුළ අනිකුත් ක්ෂේත‍්‍ර මෙන්ම බන්ධනාගාරයද ගැඹුරින් අධ්‍යනය කළ යුතුයි. එනම් සිදු කල යුත්තේ වරදකරුවන් ගාල් කිරීමට වඩා එම පුද්ගලයන්ගේ චරිත ශෝධනය කිරීමට යෝග්‍ය පරිසරයක් ඇති කරන්නේ කෙසේද කියන කාරණය ගැන මීට වඩා ගැඹුරින් අධ්‍යනය කිරීමයි. ඉන්දියාවේ බන්ධනාගාර මෙයට හොඳම උදාහරණයක්.

ලංකාවේ බන්ධනාගාරවල ඇති විය යුතු වෙනස්කම් මොනවාද?
ලංකාවේ මේ වන විටත් ක‍්‍රියාත්මක වන ප‍්‍රජා විශෝදන වැනි ක‍්‍රම ව්‍යාප්ත කළ යුතුයි. බන්ධනාගාරයක ජාතික වගකීම එක මනුෂ්‍යයෙක් හෝ අපරාධකරුවෙකු නොවීමට වග බලාගැනීමයි. අනික් පැත්තෙන් බන්ධනාගාර ගතවූ පසුව බන්ධනාගාරය තුළදි ඔවුන්ගේ වරදේ ස්වභාවය හා වයස් මට්ටම් අනුව වර්ගීකරණය කළ යුතුයි. දැනටත් මෙවැනි වැඩපිළිවෙලක් තිබුණත් ඉඩකඩ ගැටලූත් සමඟ ප‍්‍රයෝගිකව ක‍්‍රියාවට නැංවීමේ දුර්වලතා පවතිනවා. එමෙන්ම නිතර බන්ධනාගාර ගතවන අය සහ ප‍්‍රථම වරට බන්ධනාගාර ගතවන අය වෙන් වෙන්ව රැඳවිය යුතුයි. නැවත නැවත බන්ධනාගාර ගතවන්නන් පුලූල්ව අධ්‍යනය කර ඔවුන් වැරදි කිරීමට හේතු හදුනාගැනීම අවශ්‍යයි. රැුඳවියන්ගේ මානසික තත්වය යහපත් වන ආකාරයේ ආගමික හා අධ්‍යාපනික වැඩසටහන් ක‍්‍රියාත්මක කළ යුතුයි. අපේ බන්ධනාගාර වල විවිධ වෘත්තීය පුහුණු වැඩසටහන් ක‍්‍රියාත්මක වන නමුත් එළියට ගිය පසු එම පුහුණුවෙන් ප‍්‍රයෝජන ගන්නේ සියයට එකක්් වැනි සුළු පිරිසක්. බන්ධනාගාරවලින් නිදහස් වුවත් ඔවුන්ට බාහිර සමාජය තුළ ලැබෙන තත්වයත් සමඟ නැවත ගොඩනැගීමට නම් පශ්චාත් කාලයෙන් වසරක් හෝ දෙකක් බන්ධනාගාර අධීක්ෂණයට යටත්වීමත් ඉතා වැදගත්. ඒවා ක‍්‍රියාවේ යොදවන පුද්ගලයන් විෂයෙහි හොඳ පුහුණුවක් ලැබීම, අනිවාර්ය පාඨමාලා ප‍්‍රමාණයක් සම්පූර්ණ කිරීම, නිළධාරින්ට ප‍්‍රමාණවත් පහසුකම් සැලසීම වගේම නඩු විමසීම ප‍්‍රමාදවීම් නිසා රඳවාගෙන සිටින අය ගැන වාර්ෂිකව පසු විපරමක් කළ යුතුයි. ඉන්දියාවේ එ් සම්බන්ධව ඉතා හොඳ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වෙනවා.

ලංකාවට සාපේක්ෂව වෙනත් රටවල බන්ධනාගාරවල තත්වය කෙබඳුද?
බටහිර රටවල මූලික තැනක් දෙනු ලබන්නේ පුනුරුත්ථාපන කටයුතුවලටයි. එංගලන්තය, ඇමරිකාව වැනි රටවල් ගත්විට පුනුරුත්ථාපනයේ නිජබිම් ලෙස හැඳින්විය හැකියි. නමුත් ලංකාවට සාපේක්ෂව සංවර්ධිත රටවල් ලෙස ඔවුන් නිළධාරින් බඳවාගැනීමේ පටිපාටියේදී ඉතා සූක්ෂමව කටයුතු කරනු ලබනවා. පොලිසියේ සාමාන්‍ය සෙබලෙක් ලෙස බ`දවා ගන්නේද උපාධිධාරියෙක්. එය ගෞරවනීය වෘත්තියක් ලෙස සමාජය තුළ ආකල්පයක් ඇති කර තිබෙනවා මෙන්ම ඔවුන්ට මනා පුහුණුවකුත් ලබාදෙනවා. ලංකාවේ වගේ අපරාධ යුක්ති ක‍්‍රියාපටිපාටිය කල්ඇදීමක් එම රටවල සිදුවන්නේ නැහැ. ඔවුන් යම්කිසි ආකාරයකට වරද නිර්වචනය කරනවා වගේම නැවත නැවත එම පුද්ගලයා බන්ධනාගාරගත වෙනවානම් එ් කෙරෙහි පසුවිපරම් කරනවා. එ් වගේම ඔවුන්ට ලැඟුම් ගන්නට තිබෙන පාරිසරික අවකාශයත් මානසික හා කායික වශයෙන් මානව හිතවාදීයි. බන්ධනාගාර සේවයේ ගුණාත්මක බවද සතුටුදායකයි. මේ කියන කාරණා සියල්ල සමඟ සැසඳුවොත් ඔවුන් අපෙන් වෙනස්වෙන එකම තැන එතැනයි.

ලංකාවේ බන්ධනාගාරවල රැඳවියන්ගේ මානව හිමිකම් සුරක්ෂිතභාවය ගැන ඔබේ තක්සේරුව කුමක්ද?
බන්ධනාගාරයේ ශීර්ෂ පාඨය තමයි ”සියලූ සිරකරුවෝ මනුෂ්‍යයෝය” යන්න. නමුත් රටේ ඕනම අයෙකුට වැටහෙනවා ඔළු කිහිපයක් රැඳවිය හැකි තැනක ඔළු දහස්ගණනක් රඳවලා ඇති බව. එයම මනුෂ්‍යාගේ නිදහස අහිමි කිරීමක්. බන්ධනාගාර නීතිය තුළ නම, අනන්‍යතාව, ඇදුම ආදිය අහිමි වුවත් හිතකර ආශ්වාස-ප‍්‍රාශ්වාස මාර්ගයක්, සනීපාරක්ෂක ක‍්‍රමයක් නොමැතිවීම ආදිය හරහා මිනිසාට මිනිසෙකු ලෙස ජීවත්වීමේ අයිතිය අහිමි වෙනවා. නමුත් අනික් පැත්තෙන් ඔවුන්ද තවත් කෙනෙකුගේ අයිතිවාසිකම් අහිමිකරලා. ඒ හරහා හිලවු කිරීමකුත් සිදුවෙනවා කියන්න පුලූවන්.මෙහිදී නිළධාරින් විෂයෙහි සිරකරුවන්ගේ අයිතිවාසිකම් කඩවන ආකාරයේ ක‍්‍රියාකාරකම් සිදුවන බවටත් චෝදනා එල්ල වෙනවා. මෙයට හේතුව වන්නේ නිළධාරින් තුළ පවත්නා අනවබෝධය. ඇතැම් වෙලාවට ඔවුන් හිතනවා නිළ ඇදුම සිරකරුවන්ට පහරදීමට ලැබුණු අවසරයක් කියා. නමුත් ඔවුන්ට ප‍්‍රශ්න කිරීමේ අයිතියක් පමණයි තිබෙන්නේ. මෙහි පවතින්නේ කාර්ය භාරය පිළිබඳ ගැටලූවක්. තමන්ගේ නිළ තත්වය හා කාර්ය භාරය හරිහැටි හදුනාගැනීමට නොහැකිවීම තුළ මානව හිමිකම් කඩවීම සිදුවෙනවා. අනික් අතට සිරකරුවන් එකට රැඳවීම නිසා ඔවුනොවුන් අතර ඇතිවන ගැටුම් හේතුවෙන් නවක සිරකරුවන් හා සිරකරු කණ්ඩායම්, කල්ලි හරහා ඇතිවන ගැටුම් වලින් සිදුවන්නේත් මානව හිමිකම් කඩවීමයි. මෙය පරිපාලනය පැත්තෙන් දැකිය හැකි ලොකු දුර්වලතාවයක්.

ඔබට අනුව සිරකරුවන්ගේ තත්වය මීට වඩා යහපත් කළ හැක්කේ කෙසේද?
ප‍්‍රථමයෙන්ම අපරාධ යුක්තිය ක‍්‍රියාත්මක කරන සෑම ආයතනයකම රැකියා ගරුත්වය සහතික කළයුතු වෙනවා. බන්ධනාගාර නිළධාරින්ට දැනට න්‍යායාත්මක මෙන්ම ප‍්‍රායෝගික පුහුණුව යම්තාක් දුරට ලැබුණත් මෙම තනතුරු වලට බඳවා ගැනීමේදී විෂය පිළිබඳ මූලික උපාධියක් හෝ පාඨමාලාවක් සම්පුර්ණකර තිබීම වැදගත් වෙනවා. මේ වනවිට අපරාධ විද්‍යාව විෂයක් වශයෙන් සහ විශේෂවේදී උපාධියට හදාරණ අයට විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් හොඳ දැනුමක් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය අනුග‍්‍රහය යටතේ උපදේශනය වැනි පාඨමාලාවලට නිළධාරින් යොමු කිරීම, දේශපාලන පත්වීම් වලින් තොරව සුදුස්සන් බඳවා ගැනීම, අල්ලස් දූෂණ ආදී වැරදි ක‍්‍රියාවල යෙදෙන නිළධාරින්ට නිසි දඩුවම් දීම මෙන්ම එයට අවශ්‍ය කරන යම්කිසි විනය රාමුවක් සැකසීම දෙපාර්තමේන්තු මට්ටමෙන් හා රාජ්‍ය මට්ටමෙන් සිදුවිය යුතුයි. එසේ නොවුණොත් තවදුරටත් සිදු වන්නේ ඔළු ගෙඩි ගාල්කරන ක‍්‍රමයම ඉදිරියට යාමයි.

සිරකරුවන් වෙනුවෙන් දැනට ක‍්‍රියාත්මක කෙරෙන සුභසාධන කටයුතු

ආගමික වතාවත්
  • රැඳවියන් බන්ධනාගාරයට ඇතුල් වනවිටම ඔහුට හෝ ඇයට සිය ආගම ඇදහීමේ අයිතිය ලබාදෙයි. බෞද්ධාගමිකයන් වෙනුවෙන් සීල ව්‍යාපාර, දහම් පාසල් පැවැත්වීම, දහම් පාසල් ශ්‍රේණි විභාග වලට මුහුණ දීමේ හැකියාව ලබාදී ඇති අතර සමත් වූවන්ට සහතික ලබාදෙයි.

  • මුස්ලිම් හා දෙමළ ජාතික රැඳවියන්ට පූජකයන් විසින් ආගමික වතාවත් සිදු කරයි. ආගමික උත්සව දිනවලදී සියලූ රැදවියන්ට පිටතින් (නිවසින්) ආහාර හා රස කැවිලි ලබාගත හැකිය.

අධ්‍යාපනය

  • පරිගණක අධ්‍යාපනය, ඉංග‍්‍රීසි අධ්‍යාපනය මෙන්මඅ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ඇති අතර විභාග සමත් වූ විට සහතික ලබාදෙයි. ඒ සඳහා ප‍්‍රතිපාදන සැපයීම දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ.

වෘත්තීය

  • රැඳවියන්ට කරණවෑමී, ඇඳුම් මැසීම, මේසන් වැඩ, වඩු වැඩ සහ අත්කම් වැනි ජීවන වෘත්තීන් ඉගැන්වීමද සිදු කරයි. රැකියා සඳහා යොමු නොකරන රැඳවියන්ට 1, 2, 3යන ශ්‍රේණි පදනම අනුව දිනකට රුපියල් 15ක උපරිම ගාස්තුවක් රජයෙන් ලබාදෙයි.මීට අමතරව ක‍්‍රීඩා උත්සව ,පවුල් සුහද හමු හා රැඳවියන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරයි.

කායික හා මානසික සෞඛ්‍ය

  • අවුරුදු 04කට වරක් වෛද්‍ය පරීක්ෂණයකට කැඳවා රෝගී අය හඳුනාගෙන ප‍්‍රතිකාරයන්ට යොමු කිරීම සිදුවේ.

  • සෑම බන්ධනාගාරයකම බන්ධනාගාර රෝහලක් තිබෙන නමුත් එහි ශල්‍යාගාර පහසුකම් නැත.

  • රැඳවියන්ගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් උපදේශන, භාවනා වැඩසටහන් ක‍්‍රියාත්මක වුවත් ඒවා ප‍්‍රමාණවත් නොවේ.

  • කාන්තා රැඳවියන් සිර මැදිරියේදී ප‍්‍රසූත කරන දරුවන් රැඳවීමට වෙනම මැදිරියක් තිබෙන අතර ළදරුවන්ට පෙර පාසල් අධ්‍යාපනය ලබාදීමති් කිරිපිටි, ආහාර, ලබාදීමත් වැනි සුබ සාධන කටයුතු ක‍්‍රියාත්මකය.











වෙනත් විස්තර








BACK TO HOME








Friday, June 5, 2009

සාමාන්‍ය මිනිහා හෙවත් සිවිල් ජනතාව

කැරළිකාර එක්දහස් නමසිය දහනමයේ අපේ‍්‍රල් මාසයේදී මරණ බියෙන් පසුවන සාමාන්‍ය මිනිහා නින්දෙන් අවදිව දෙනෙත් පිසදා ගනිමින් තම කුඩා නිවසේ කවුළුව හරිමින්, චකිතයකින් යුතුව, තමාට කලින් නැගිට සිටි තම අසල්වැසියාගෙන් විමසීය.
”අව්තනොම් පෙත්‍රොවිච්, අද අප නගරයේ බලය කා අතේද?”
අව්තනොම් පෙත්‍රොවිච් තම කලිසම හදා ගනිමින් බියෙන් වටපිට බලමින් පිළිතුරු දුන්නේය..
”අපනාස් කිරිලවිච් දන්නේ නැහැ. ඊයේ ? කාගේදෝ හමුදාවක් ආවා. මොනවද වෙන්නේ කියලා බලමු. යුදෙව්වන් කොල්ල කනවා නම් ඒ කියන්නේ පෙත්ල්යූරා ගේ හමුදාව ඇතුල්වෙලයි කියලයි. සහෝදරයෝ ඇවිල්ලා නම් එකපාරටම කතාබහ අනුව දැනගන්න පුළුවන්. දැන් ඉතිං මමත් හොඳට වටපිට බලනවා. කාගේ පින්තූරය එල්ලන්ට ඕන ද කියලා. එහෙම නැත්නම් දන්නවද?

ගෙරාසින් ලියොන්සියෙවිච්ට වෙච්ච දේ මටත් වෙන්න පුළුවනි. මිනිහා වැඩිපුර කල්පනා නොකර ලෙනින්ගේ පින්තූරයක් එල්ලූවා. ඔන්න, මිනිහාගේ ගෙදරටම ආවා අසරු භටයෝ තුන්දෙනෙක්. උන් පෙත්ල්යූරාගේ මිනිස්සු. පින්තූරය දැක්කා විතරයි, ගෙරාසින් අල්ලා ගත්තා. ” මිනිහට කස පහරවල් විස්සක් ගැහුවා. ‘තෝ දන්නවාද බොල බැල්ලිගේ පුතා, කොමියුනිස්ට්කාර ජඩයා, තොගේ හම ගලවනවා.’කියලා උන් ගෙරාසින්ට බැන්නා. ඒ මිනිහා කොච්චර සමාව ඉල්ලා සිටියාද. හරි ගියේ නැහැ.”

මහ මඟට බට අවිගත් සෙබළ කණ්ඩායම් දුටු සාමාන්‍ය මිනිහා කවුළු දොර වසා සැඟවුණේය. දසාව හොඳ නැහැ.

පෙත්ල්යූරාගේ පල්හොරු කණ්ඩායම්වල කහ - නිල් කොඩිය දෙස කම්කරුවෝ සැඟවුණ ද්වේශයකින් යුතුව බැලූහ. අන්ත ජාතිකවාදී ප‍්‍රවාහය ඉදිරියේ හැඟීම් බෙලහීන විය. එය යළි ඵල ලැබ නැඟී සිටියේ සෑම පෙදෙසකින්ම පසුබසින නිල් සහ කහ පැහැති කොඩි රැගත් පල් හොරුන්ට එදිරිව දැඩි සටන් කොට තියුණු තුඩක් සේ නගරයට කඩාවදින රතු සේනාංක නිසාය. දවසක් දෙකක් නගර සභාවට ඉහළින් රතු කොඩිය ලෙළදිනි. වරෙක නගරයෙන් පිටත්ව යන එය ඇඳිරි වු විට ආපසු ආවේය.

**************

අව්තනොම් පෙත්‍රොවිච් තම අසල්වැසියා වන ගෙරාසින් ලියොන්සියෙවිච් ගේ දොරට තට්ටු කළේය. තවම ඇඳ නොගත් ඔහු හරින ලද දොරින් බැලීය..”මොනවා වුණාද? ” සටන් කිරීමට මෙන් දිගු කොට අල්ලා ගත් තුවක්කුව ඇතිව මඟ ඔස්සේ ගමන් ගත් රතු සෙබළුන් පෙන්වු අව්තනොම් පෙත්‍රොවිච් තම අසල්වැසියන් දෙස බලා ඉඟි මැරීය.”පිටවෙලා යනවා”ගෙරාසින් ලියොන්සියෙවිච් ඔහු දෙස කණස්සල්ලකින් යුතුව බැලීය..”පෝලන්ත හමුදාවල ලකුණ මොකක්ද කියලා තමුසේ දන්නේ නැති ද?.””එක ඔළුවක් ඇති රාජාලියා වෙන්නට ඕන.””ඒක කොහෙන් හොයා ගන්නද?” අව්තනොම් පෙත්‍රොවිච් කෝපයෙන් හිස කැසීය.”උන්ට කමක් නැහැ.” මඳ වේලාවක් කල්පනා කළ ඔහු පැවසීය.”ගත්තා, ගියා. නගරයේ ඉන්න අපිට සිද්ධ වෙනවා අලූත් පාලකයින්ට ගැලපෙන විදිහට වැඩ කරන්නේ කොහොමද කියලා හිතට වද දමින් කල්පනා කරන්න”.

(උපුටා ගත්තේ නිකලොයි ඔස්ත්‍රොස්ව්ස්කිගේ වානේ පන්නරය ලැබු හැටි පොතේ 74,75, හා 164,165 පිටු වලිනි.)