Thursday, June 18, 2009

නිදහසේ වේදිකාව දේශපාලන කුණාටුවලට හසුවෙන්නේ නැහැ

නිදහසේ වේදිකාව ගොඩනැඟුණේ ජීවත්වීමේ අයිතිය සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කරගැනීම සඳහා පුළුල් මහජන බලවේගයක් ගොඩනැඟීමේ අරමුණෙනි.
බහුජන සංවිධාන, ජනමාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂවල එකමුතුවෙන් ගොඩනඟන ලද නිදහසේ වේදිකාවේ කටයුතු මෙහෙයවීම සාමාජිකයන් විසින් තෝරා පත්කරන ලද මෙහෙයුම් කමිටුවක් මඟින් සිදුවේ. මෙහෙයුම් කමිටුව දේශපාලන පක්ෂවලින් පරිබාහිරව සහ ස්වාධීනව ක‍්‍රියාත්මක වන අතර නිදහසේ වේදිකාවට සම්බන්ධ දේශපාලන පක්ෂ සමඟ කලින් කලට සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නියෝජිතයන් සහ මෙහෙයුම් කමිටු නියෝජිතයන් සහභාගී වන උපදේශක මණ්ඩලයක් පිහිටුවා ඇත.
සිවිල් සමාජ සංවිධාන අද මුහුණ දී ඇති අභියෝග පිළිබඳ සාකච්ඡා සභාවක් සහ දේශපාලන පක්ෂ නායකයන් සමඟ සංවාදයක් ජුනි මස 26 වන සිකුරාදා දවස පුරා කොළඹදී පැවැත්වීමට නිදහසේ වේදිකාව කටයුතු සුදානම් කරමින් සිටියි.
නිදහසේ වේදිකාව පැමිණි සහ ඉදිරි ගමන් මග පිළිබඳ සමබිම සමඟ කතාබහකට අප හවුල් කර ගත්තේ මෙහෙයුම් කමිටු සමාජිකයෙකු වන හර්මන් කුමාර මහතාය. ප‍්‍රවීණ සමාජ ක‍්‍රියාදරයෙකු වන ඔහු ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මෙන්ම ලෝක ධීවර ජනතා සම්මේලනයේ ලේකම්වරයාද වෙයි.


මොකක්ද නිදහසේ වේදිකාව කියන්නේ ?
අද සමාජයේ තියෙන්නෙ ප‍්‍රධාන මත වලට විතරක් ඉඩකඩ ලබා දෙන වාතාවරණයක්. සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්තගේ මරණයත් සමඟ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක තිබිය යුතු නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමේ හා ජීවත් වීමේ අයිතිය වගේම යම් මතයක් දැරීමේ හිමිකම අහෝසි වී ගියා. විශේෂයෙන්ම මාධ්‍යවේදීන්, සමාජ ක‍්‍රියාකාරිකයන් සහ දේශපාලනඥයින්ට රජය නියෝජනය කරන ප‍්‍රධාන ධාරවේ මතය හැර වෙනත් මතයක් දැරීමට තිබු ඉඩකඩ ඇහිරුණා. මෙවැනි පසුබිමක් තුළයි ලසන්තගේ මරණයෙන් පසු නිදහසේ වේදිකාව බිහිවුණේ. එහිදී නිදහසේ වේදිකාව ප‍්‍රධාන වශයෙන් පෙනී සිටියේ භාෂණයට හා ජීවිතයට ඇති අයිතිය වෙනුවෙන්. පැවති වාතාවරණය තුළ එය පහසු කටයුත්තක් වුණේ නැහැ. විශේෂයෙන් ම මෙම සමාජ ප‍්‍රතිසංස්කරණය සඳහා පවතින සමාජ, ආර්ථික, දේශපාලන ක‍්‍රියාවලිය වෙනස් කළ යුතුයි යන්න අපේ තර්කය වුණා. නිදහසේ වේදිකාව තුළින් පවතින අධිපතිවාදී පාලනය සහ ඒ ඔස්සේ සිදුවන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා හඳුනා ගත්තා. ජීවත් වීමට හා භාෂණයට ඇති අයිතියට අමතරව එතුළින් ඉස්මතු කරන ප‍්‍රධාන කාරණා පහක් තිබෙනවා. පළමු වැන්න අද පවතින විධායක ජනාධිපති ක‍්‍රමය නිසා රට බරපතල අර්බුදයකට යාම. එනිසා ඒ සඳහා පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති කෙනෙක් හෝ නීතියට යටත්වන, බැඳෙන, අසීමිත බලතල රහිත, පුද්ගලයෙක් හෝ තනතුරක් ස්ථාපිත කළ යුතුයි යන්න අපේ තර්කයයි. දෙවැන්න අද රටේ බරපතලම ගැටළුව වන ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍යයි යන්න. නිදහසේ වේදිකාව ඒ සඳහා කතිකාවක් ඇති කර යෝජනවලියක් ගෙනවිත් තිබෙනවා.තුන්වැනි කාරණය සමාජයේ බලය අයුතු ලෙස භාවිතා කිරීම, නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම,මැතිවරණ ක‍්‍රමය ඇතුළු බොහෝ සමාජ ක‍්‍රියාකාරීත්වයන් බරපතල ලෙස ඳුෂිත වීම නිසා මෙරට යහපාලනයට හා ස්වෛරීත්වයට දරුණු ලෙස බලපෑම් සිදුවීම වැළැක්විය යුතුයි යන්නයි. මීළඟ කාරණය ඳුෂණය, අල්ලස, මැරකම, අධිකරණ ස්වාධීනතාව ගිලිහීම, පොලිසියේ නීතිගරුකභාවය පිටුදැක යහපාලනයක් ඇති කළ යුතුයි යන්නයි. පස්වැන්න අද රටේ ඇති වී තිබෙන ආර්ථිකය පරිහානියයි. විශේෂයෙන්ම කුඩා නිෂ්පාදන කර්මාන්තකරුවන්, වතු කම්කරුවන් ,ධීවරයන් ගොවියන් බරපතල වෘත්තීය පිඩනයකට යට වෙලා. ඔවුන්ට සාධාරණ වැටුපක්, අයිතිවාසිකමක් දිනා ගන්න පුළුවන් පසුබිමක් ඇති කිරීමට නිදහසේ වේදිකාව පෙනී සිටිනවා. මේ කාරණා පහ සමඟ දිවෙන දැවැන්ත සමාජ ක‍්‍රියාකාරී බලවේගයක් ඇති කිරීම අපගේ දිගු කාලීන අරමුණයි. බලයට එන පිරිස සමඟ පාරදෘශ්‍ය,විවෘත, විවේචනාත්මක, කතිකාවක් බිහි කිරීමට, රටට යෝග්‍ය සුභ සාධනවාදී පාලනයක් ඇති කිරීමට සියළු සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, දේශපාලන හා වෘත්තිකයන් පක්ෂ ඒකාරාශී කිරීම නිදහසේ වේදිකාවේ අරමුණයි.

නිදහසේ වේදිකාව හරහා දැනට ක‍්‍රියාත්මක වෙමින් පවතින කටයුතු මොනවාද ?
නිදහසේ වේදිකාව සිවිල් සමාජ සංවිධාන විසින් මෙහෙයවන බලවේගයක්. එහි කටයුතු සිදුවන්නේ මෙහෙයුම් කමිටුවෙන්. එමඟින් ප‍්‍රධාන වශයෙන්ම දැනට අරඹා ඇත්තේ මුලික ජන පදනම සකස් කර ගැනීමයි. නිදහසේ වේදිකාව පුළුල් සමාජ ක‍්‍රියාකාරිත්වයක් බවට පත්කිරීමට දිස්ත‍්‍රික් මට්ටමින් මානව හිමිකම් සංවර්ධනය උදෙසා ක‍්‍රියාකරන සංවිධාන හා සාකච්ඡා අරඹා තිබෙනවා. මේ වන විට අපි මහනුවර, කුරුණෑගල, හම්බන්තොට, නුවරඑළිය, ගාල්ල, මාතර, රත්නපුර, පොතුවිල්, අනුරාධපුරය, ගම්පහ, කොළඹ, මාතලේ යන පළාත්වල දිස්ත‍්‍රික් මට්ටමින් මහජන සභා, කුඩා පුද්ගල කණ්ඩායම් සහ කමිටු හරහා සම්බන්ධතා ජාලයක් සමඟ ජන පදනමක් ගොඩනගමින් සිටිනවා. ඒ සඳහා නිදහසේ වේදිකාවේ පිරිස වගකීම් බෙදාගෙන සිටිනවා. මේ වන විට සංවිධානාත්මකව පවත්වන ලද මහජන සභා හරහා ඒ ඒ පළාත්වල යම් ආකාරයක පිබිදීමක් අපි දැක්කා. ඔවුන් තුළ නිදහස් පුරවැසි අයිතිය වෙනුවෙන් එකතු විය යුතුය යන විශ්වාසයක් සමඟ මේ වේදිකාවට ගොඩවීමේ අවශ්‍යතාවයක් ද ඇති වී තිබෙනවා. භාෂණය හා ජීවත් වීමේ අයිතිය පිළිගන්නා ඕනෑම කෙනෙකුට නිදහසේ වේදිකාවට ගොඩ විය හැකියි. පසුගිය පළමුවෙනිදා පෝද්දල ජයන්තට පහරදුන් අවස්ථාවේ දේශපාලන පක්ෂ, වෙනත් කණ්ඩායම් හා විශේෂයෙන්ම මාධ්‍ය සංවිධාන පෝද්දල වෙනුවෙන් පෙනී සිටීමට ‘මෙය සුදුසු වෙලාව නොවන බව’ ප‍්‍රකාශ කරන විට එම අවදානම දරාගෙන පාරට බැස්සේ නිදහසේ වේදිකාවයි. මේ අවස්ථාවේ කුමක් කරන්නද කියමින් බිය වැදී සිටි මිනිසුන්ගේ එම බිය 10 වෙනිදා පෝද්දල වෙනුවෙන් අප කළ ක‍්‍රියාකාරිත්වය තුළින් තුරන් වු බව පැහැදිලිව ප‍්‍රකාශ වුණා. නිදහසේ වේදිකාව උපාය මාර්ගික වශයෙන් දිගු කාලීන ව්‍යුහාත්මක වෙනස්කමක් සඳහා ක‍්‍රියාත්මක වීම වගේම වර්තමානයේ ජීවත්වීමට තර්ජනයන් මතුවන අවස්ථාවලදී ඒ වෙනුවෙන් නොබියව පෙනී සිටිනවා.

නිදහසේ වේදිකාව පිළිබඳ ඔබගේ තක්සේරුව කුමක්ද?
මේ සමාජ ව්‍යූහය තුළ දේශපාලන රික්තකයක් මා දකිනවා. සමාජය බරපතල විදිහට දේශපාලන පක්ෂ මත පදනම් වෙලා. පුරවැසියෙක් වැඩ කරන පක්ෂය බලයට ආ පසු ඔවුන් කුමන වරදක් කළත් පුරවැසියා තුළ ඇති දේශපාලන අන්ධභාවය නිසා එය දකින්න ඉඩක් නැහැ. නිදහසේ වේදිකාව කියන්නේ ඒ ඒ වෙලාවට එන දේශපාලන කුණාටුවලට හසුවන හෝ මැදිහත් වන ක‍්‍රියාකාරකයක් නොවේ. රටේ පවතින දේශපාලන ව්‍යුහයේ වෙනසක් ඇතිවිය යුතුයි මෙන්ම එය පුද්ගලයන් වෙනස් කිරීමෙන් නොව ව්‍යුහය වෙනස් කිරීමෙන්ම කළ යුතුයි යන්න අපේ අදහසයි. නිදහසේ වේදිකාව මේ වන විට ඒ වෙනුවෙන් වීදි බැස සිටින එකම සමාජ බලවේගයයි. මෙය සියල්ලන්ටම විවෘත සමාජ, ආර්ථික, දේශපාලන පුළුල් කතිකාවක් ඇතිකර ගැනීමට ඇති සංවාදාත්මක වේදිකාවක්.

ඔබ ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ ලෝක ධීවර ජනතා සංගමයේ ලේකම් යන තනතුරු දරනවා. ඔබ ඇයි නිදහසේ වේදිකාවට සම්බන්ධ වුණේ ?
සමාජයේ හරි දේ සහ නිවැරදි දේ සඳහා පෙනී සිටීමටයි අපි උත්සාහ දරන්නේ. එතනදී ප‍්‍රධාන ධාරාවේ ක‍්‍රියාකාරිත්වය නිවැරදි නැහැ කියා හිතෙනවා නම් එය නිවැරදි කිරීමට වැඩ කරන්න අප බිය විය යුතු නැහැ. ගොවියන්, ධීවරයින්, වතු කම්කරුවන් සමඟ අපි මෙතෙක් කරමින් සිටියේ එයයි. මීට පෙර එවැනි ක‍්‍රියාකාරිත්වයන් සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් තිබුණා. නමුත් අද ප‍්‍රති විරුද්ධ මතයක් ප‍්‍රකාශ කිරීමට ඔවුන් බයයි. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කරන්න නම් මේ සමාජ වික්ෂිප්තභාවය නැති කළ යුතුයි. මීට පෙර ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා වෙනසක්, ජාතික සමගිය හා ජනවාර්ගික සුහදතාවය වෙනුවෙන් පෙනී සිටි, එය විශ්වාස කළ ඇතැම් කණ්ඩායම් ම අද කාලා ඇඳලා ඉන්නට තිබුණාම ඇති කියා කියනවා. එය අනාගතයේ මීට වඩා භයානක ලේ වැගිරීමකට හා අර්බුදයකට රට තල්ලූ කිරීමක්. සුළු පිරිසක් අද රට ආර්ථික වශයෙන් කොල්ල කනවා. කොමිස් - කොන්ත‍්‍රාත් හරහා වංචා, ඳුෂණ කරන මේ ක‍්‍රමය වෙනස් කිරීමට පුළුල් ජාතික ව්‍යාපාරයක් අවශ්‍ය නිසයි නිදහසේ වේදිකාවට ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය එකඟතාව පළ කර සිටින්නේ.

මෙයට සිවිල් සමාජ ව්‍යාපාරවලට අමතරව ප‍්‍රධාන විපක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ එකතු වී සිටිනවා. මේ එකතුව ඔබ දකින්නේ කෙසේද?
ප‍්‍රධාන දේශපාලන පක්ෂ පමණක් නොවෙයි වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන සහ අනික් කණ්ඩායම් නිදහසේ වේදිකාව සමඟ එකතු වී සිටින්නේ උපදේශාත්මක මට්ටමෙන් පමණයි. මෙහි ප‍්‍රධාන කටයුතු මෙහෙයවන්නේ සහ තීන්දු තීරණ ගන්නේ සිවිල් සමාජ සංවිධාන මෙහෙයුම් කමිටුව විසින්. ඔබ කියන දේශපාලන පක්ෂවල මැදිහත්වීමකින් තොරව මෙම ව්‍යුහය වෙනස් කළ නොහැකියි. ඔවුන් තමයි යම් දිනක යළි බලයට එන්නේ. මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මූලයන් හඳුනා ගැනීමට නිදහසේ වේදිකාව ඔවුන් සමඟ කරන ගනුදෙනුව ඉතා වැදගත්. නමුත් අතීත අත්දැකීම් අනුව ඔවුන් බලයට ආ විට සමාජ ව්‍යුහයේ වෙනස්කමක් කිරීමට එකඟ වෙයි කියා පුර්ව සාධාරණ විශ්වාසයක් අප තුළ නැහැ. එ්නිසා මා ඉහතින් සඳහන් කළ කාරණා පහ වෙනුවෙන් පෙනී සිටීමට දේශපාලන පක්ෂ සමඟ එකඟතාවක් ඉදිරියේදී ඇති කර ගන්නවා.

නිදහසේ වේදිකාවේ ඉදිරි වැඩපිළිවෙල කුමක්ද ?
ඉදිරියේදී මුලින් සඳහන් කළ කාරණා පහ වෙනුවෙන් පෙනී සිටීමට ඒකාබද්ධ විපක්ෂය හා අනෙක් විපක්ෂ කණ්ඩායම් සමඟ පුළුල් එකඟතාවයක් සහිත අවබෝධාත්මක ගිවිසුමක් ඇති කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒත් සමඟම ජාතික සමුළුවක් කැඳවා රටේ උද්ගත වී ඇති තත්ත්වයට හේතු වී ඇති මෙම කාරණා වෙනස් කිරීමටත්, නව යෝජනා පෝෂණය කිරීමටත් එකිනෙක ක්ෂේත‍්‍ර හැටියට ඔවුනොවුන්ගේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මගේ අදහස ඒ සඳහා අනුමැතිය ගතහැකි ක‍්‍රියාකාරිත්වයක් සඳහා පුරවැසි කමිටු ඇතිකළ යුතුයි. එයට සමාජ ව්‍යාපාර මෙහෙයවන ක‍්‍රියාදරයන් හඳුනාගෙන ඔවුන් පුහුණු කිරීමේ ක‍්‍රියාවලියකට අපි ගමන් කරනවා. ඒවාගේම වෙනත් රටවල මෙවැනි නිදහස් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගල සිදුවුණේ කොයි ආකාරයටද, කොහොමද සහ ඒවා පුළුල් ව්‍යාපාර බවට පත් වුණේ කෙසේද කියා අපි විමසිලිමත් වෙනවා.

Back to home....

No comments: