Friday, July 31, 2009

වැඩිහිටියන්ට පමණයි තහනම්


සුචරිත පොලීසිය ගැන අපට මුලින්ම අසන්නට ලැබෙන්නේ උපාහාස කතා රචක ටී.ජී. ඩබ්ලිව්.ද. සිල්වා ගේ කාකද්වීපයේ කතන්දර වලය. කාකද්වීපයේ ප‍්‍රබන්ධයක් වශයෙන් පැවති සුචරිත පොලිසිය අද ලංකාද්වීපයේ යථාර්ථයක් බවට පත් වී ඇත.
පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සබ්බ සකල මනාව ම තහනම් කරමින් පවතී. ? දහයෙන් පසු සංගීත සංදර්ශන තහනම් ය; පාරේ සිඟරට් බීම තහනම් ය; ආණ්ඩු අකමැති වෙබ් අඩවි වලට පිවිසීම තහනම්ය; ආණ්ඩු අකමැති ජ්‍යොතිෂ්‍ය අනාවැකි කීම පවා තහනම් ය.මේ තහනම් අතරට පැමිණීමට නියමිත අළුත් ම තහනම වනාහි ‘ වැඩිහිටියන්ට පමණයි’ යන ලේබලය යටතේ පැමිණෙන චිත‍්‍රපට තහනම යි. දෛවයේ සරදමට මෙන් සංස්කෘතිය බාර ඇමති දෙබාන මේ තහනම ප‍්‍රකාශ කර තිබුණේ ‘ටොප්ලස් ’ සුරූපියන්ගේ බිතු සිතුවම් ඇති සීගිරියේදී ය.
මේ චිත‍්‍රපට තහනම් කරන්නට යන්නේ බාල පරපුර රැක ගැනීමේ චේතනාවෙන් යයි කියනු ලැබේ. චිත‍්‍රපට වැඩිහිටියන්ට පමණයි යනුවෙන් වර්ගීකරණය කොට තිබෙන්නේ, එය බාලයන් සඳහා සුදුසු නොවන නමුත් වැඩිහිටියන්ගේ පරිභෝජනයට සුදුසු බැවිනි. ළමයින් බලන නිසා වැඩිහිටියන්ගේ චිත‍්‍රපට තහනම් කරන ඇමතිවරුන් සිටින රටක ඉදිරියට වැඩිහිටියන්ගේ තව මොන මොනවා තහනම් කරනු ඇත්දැයි දන්නේ උඩ සිටින දෙවියන් පමණකි.


ලංකාවේ කලාකරුවන්ගෙන් අප අසන්නේ එක ප‍්‍රශ්නයකි. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට මෙසේ වැට බැඳීමට විරුද්ධ වීමට ඔබ සූදානම් ද ? ඔබ හා එක් ව සටන් කරන්නට ‘නිදහසේ වේදිකාව’ සුදානම්ය.

Thursday, July 16, 2009

බාහු බලය වෙනුවට සෛල බලය

නිදහසේ වේදිකාවට ඔබේ සහයෝගය ඕනෑ කර තිබේ


ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයෙහි ප‍්‍රධාන මූලධර්ම දෙකක් වේ. පළමුවැන්න බහුතරයේ කැමැත්ත මත පාලනය කිරීමයි. දෙවැන්න බහුතරය ලබා නොගන්නා පිරිසට විපාක්ෂික විසම්මුතික පාර්ශ්වයක් වශයෙන් කටයුතු කිරීමේ හැකියාවයි.උදාහරණයක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් සේ සැලකෙන කැනඩාව ගනිමු. කැනඩාව ප‍්‍රාන්ත සමූහයක් සහිත ෆෙඩරල් හෙවත් නිර් මධ්‍යගත පාලන ව්‍යුහයක් ඇති රටකි. බහුතර කැනේඩියානුවන් භාවිතා කරන්නේ ඉංග‍්‍රීසි භාෂාවය. එහෙත් ක්විබෙක් ප‍්‍රාන්තයෙහි බහුතරයක් භාවිතා කරන්නේ ප‍්‍රංශ භාෂාවයි. රටේ නිල කටයුතු වලදී ඉංග‍්‍රීසි සහ ප‍්‍රංශ යන භාෂා දෙකම භාවිතා වෙයි. ක්විබෙක් ප‍්‍රාන්තයේ බෙදුම්වාදී ව්‍යාපාරයක් පවතී. එය ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් නොවේ. අදහස් වලින් සන්නද්ධ වූ ව්‍යාපාරයකි. ඔවුන් සිතන්නේ ක්විබෙක් ප‍්‍රාන්තය කැනඩාවෙන් වෙන්වූ වෙනම රටක් වශයෙන් පැවතිය යුතු බවයි. එහෙත්, ක්විබෙක් වාසීන් හැම දෙනාම මේ අදහසට එකඟ නැත. ඔවුන් සිතන්නේ ක්විබෙක් ප‍්‍රාන්තය මේ තිබෙන හැටියට ම ප‍්‍රාන්ත බලතල සහිතව කැනඩාවේ කොටසක් වශයෙන් පැවතිය යුතු බවයි.

මේ දෙකට ම අයත් නොවන තුන්වන හෙවත් අතරමැදි ප‍්‍රවණතාවක්ද පවතී.ඔවුන් වෙන්වීමට විරුද්ධය; මේ තියෙන හැටියට පැවතීමටත් විරුද්ධය. ඔවුන් කියන්නේ ක්විබෙක් ප‍්‍රාන්තය කැනේඩියානු ෆෙඩරල් ව්‍යුහය තුළ පැවතිය යුතු නමුත් ප‍්‍රාන්තයට වැඩි ස්වයං පාලන බලතල ලබාදිය යුතු බවයි.මේ මත භේදය විසඳීම පිණිස ප‍්‍රශ්නය ක්විබෙක් ප‍්‍රාන්තයේ මහජනතාව වෙත, අවස්ථා දෙකකදී යොමු කර ජනමත විචාරණ දෙකක් පවත්වන ලදි. නැවතත් අවධාරණය කළ යුත්තේ, ජනමත විචාරණය පවත්වන ලද්දේ බෙදුම්වාදී ප‍්‍රවණතාවයක් පවතින ක්විබෙක් ප‍්‍රාන්තයෙහි පමණක් මිස මුලූ කැනඩාව මුලූල්ලේම නොවන බවයි. මේ අවස්ථා දෙකේදීම වෙන්වීම අවශ්‍ය යැයි කියූ පිරිස පරාජයට පත් වී එකට සිටිය යුතුය කියන අය ජයග‍්‍රහණය කරන ලදි. ඡන්ද ප‍්‍රතිඵල වලින් පසුව බෙදුම්වාදීන් දඩයම් කිරීම හෝ පළිගැනීම හෝ ඔවුන් දේශද්‍රෝහීන් වශයෙන් හැඳින්වීමක් සිදු නොවෙයි. ඔවුන් වනාහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ජීවත් වන විසම්මුතික මත දරන්නන් පිරිසකි.

ඔවුන් මහජන ඡන්දයෙන් පැරදී සුළුතරය බවට පත් වූවා පමණකි. එම සුළුතර මතය දරමින්, බහුතරය තම මතයට පොළඹවා ගැනීම සඳහා සාමකාමී ලෙස ප‍්‍රචාරක, උද්ඝෝෂණ සහ බලමුළු ගැන්වීමේ ක‍්‍රියාවන්හි යෙදීමට ඔවුන්ට අයිතිවාසිකමක් ඇත. එම අයිතිවාසිකම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෙවත් රටේ උත්තරීතර නීතියෙන් තහවුරු කොට ඇත.දැන් අපි කැනඩාවෙන් ලංකාව දෙසට හැරෙමු. එක් අතකින් ඉසුරු සොයා කැනඩාවට ගොස් එහි ආන්තිකකරණය වී කොන් වී ජීවත්වන සමහර ලාංකිකයන් මෙන් අපට කැනඩාව ගැන වෛරයක් සහ ලංකාව පිළිබඳ අතීත වේදනාවක් හෙවත් නොස්ටැලජියාවක් නැත.

අනෙක් අතට ලංකාවේ සිවිල් සමාජයේ ඉහළ මට්ටමේ සිටින වීරවරයන්ට සහ වීරවරියන්ට මෙන් අපට කැනේඩියානු (හෝ වෙනත් බටහිර රටක) පාස්පෝට් හෝ දේශපාලන රැකවරණ හෝ නැත. ඒ නිසා අප බැලිය යුත්තේ ලංකාව දෙසය. ලංකාව ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයකි. ජපානයට පසු මුලූ ආසියාකරයෙන්ම සර්ව ජන ඡන්ද බලය භුක්ති වින්දේ ලංකාවේ ජනතාවයි. එම සම්ප‍්‍රදාය දැන් වසර අසූවක් තරමට පැරණිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලංකාවේ ඉහත දැක්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කැනඩාවේ පැවතියාක් වැනි මතභේදයක් විසඳා ගැනීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාර්ගයක් තිබේද? මම ඔබට අභ්‍යාසයක් යෝජනා කරමි. ඔබ කැමති ඕනෑම සමාජ ප‍්‍රශ්නයක් සිහියට ගන්න.

1. පොලිසිය, රාජ්‍ය සේවය, අධිකරණය දේශපාලන බලයට යටවීම වළක්වා ස්වාධීනත්වය තහවුරු කිරීම පිණිස 17 වන සංශෝධනයෙන් නීතිගත කළ ව්‍යවස්ථාදායක සභාව සහ ස්වාධීන කොමිෂන් සභා නැවත ක‍්‍රියාත්මක කිරීම.
2. ජාතීන් අතර සමගිය සහ සමගි සන්ධානය ඇති කිරීම සඳහා ඇති කරන ලද පළාත් සභා ක‍්‍රමය සක‍්‍රීය බලතල සහිත ආයතනයක් බවට පත්කිරීම සඳහා 13 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කොට එය ක‍්‍රියාත්මක වීම සදහා ඇති අඩු පාඩු නිවැරදි කිරීමට නීති සංශෝධන ගෙන ඒම.
3. රටේ පවතින කොල්ලකාරී, ආර්ථික ප‍්‍රතිපත්තිය වෙනස් කර සාධාරණ, සමාජයට වග කියන ආර්ථික ක‍්‍රමයක් ගොඩ නඟා ගැනීම.
4. තමන් නීතියට ඉහළින් සිටිමින් නීති සම්පාදනය කරන හා යුක්තිය පසිඳලන ආයතන වන ව්‍යවස්ථාදායකය හා අධිකරණය දෙපයින් පාගා ගෙන සිටින විධායක ජනාධිපති ධූරය අහෝසි කොට විධායකය නීතියේ පාලනය යටතට ගෙන ඒම.5. ජාතික වශයෙන් සහ ජාත්‍යන්තරව පිළිගත් සාර්වත‍්‍රික මානව අයිතිවාසිකම් සියළු දෙනාට සමසේ ලැබෙන සේ නීති සහ යාන්ත‍්‍රණයන් ඇතිකොට ක‍්‍රියාත්මක කිරීම.

හෝ වෙනත් ඕනෑම කරුණක් විය හැකිය. එවැනි කාරණයක් ගැන ප‍්‍රජාතන්ත‍්‍රවාදීව, මහජන අවකාශය තුළ සාකච්ඡාවක් ගෙනයාමට ඔබට අවස්ථාවක් තිබේද? එම අවස්ථාව භුක්ති විදීමෙන් අනතුරුව බියෙන් තොරව පාරේ බැසයාමට හෝ සැනසිල්ලේ තම නිවසේ නිදා ගැනීමට හැකි වාතාවරණයක් තිබේද ?
ලබන සතියට ..........


Back to Home

Monday, July 13, 2009

ගීත ලොවේ මෙන්න අළුත් සෙල්ලම සිනා සිසී බෙල්ල කැපීම

”අපි නොදන්න චෙස්” කියා කීවේ ඇත්තටම චෙස් නොදන්නා නමුත් කැරම් ක‍්‍රීඩාවෙන් මුල් තැන ගත් අපේ මිතුරෙකි. කැරම් ක‍්‍රීඩාව හා චෙස් ක‍්‍රීඩාව අතර වෙනස්කම් බොහෝය. කැරම් ක‍්‍රීඩාවේදී තමන්ගේම ඉත්තන් වලට දැමීම සිදුවන අතර චෙස් ක‍්‍රීඩාවේදී කරන්නේ ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයාගේ ඉත්තන් කපා දැමීමයි. චෙස් නොදන්නා අපි දන්නා ක‍්‍රීඩාව වන්නේ දාම් ඇදීමයි. දාම් ඇදීමේදී ද කපන්නේ ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයාගේ ඉත්තන්ය. සමහර විට ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයාට තමන්ගේ ඉත්තෙකු ඇමට දී එය කපා ගැනීමට ඉඩ හැර, එම ඉඩ පාවිච්චි කර, ප‍්‍රතිවාදියාගේ ඉත්තන් තුන් හතර දෙනෙක් කපාගෙන දාම් යාමට හෙවත් රජ වීමට ද අවස්ථාව තිබේ.කැපිල්ලේ ඉතිහාසය විජයගේ කාලය තරම් ඈතට ගෙන යා හැකිය. විජය ලංකාවට පැමිණ කුවේණි යොදාගෙන ශීර්ෂ වස්තුපුරයේ යක්ෂ නායකයන් සියල්ලම කපා දමා ලක්දිව රජ බවට පත් විය. ඉන්පසුව ඉන්දියාවෙන් භාර්යාවක් ගෙන්වාගෙන තමන්ට උදව් කළ කුවේණිත් කපා දැම්මේය.මේ සියලූ කැපිලි වලට උදවු කළ සත් සියයක් සේනාව සහ මිතුරන් කෙතරම් බලාපොරොත්තු තබාගෙන සිටියත් ඔවුන් සියල්ල කපා දමා තමාගෙන් පසු රජකමට පත් කළේ, විදේශ රටක සිට ආනයනය කළ තමන්ගේ සහෝදරයාය.

මෑත කාලයේ කැපිල්ල පටන් ගත්තේ, හෙළ උරුමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද නඩුවක තීන්දුව යොදා ගනිමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ධුර කාලය වසරකින් කපා දැමීමත් සමඟය. ඉන්පසු, රනිල් සමඟ මුහුණට මුහුණ සටනට පිවිසි මහින්ද සහ පිරිස අන්තිම මොහොතේ එල්.ටී.ටී.ඊ යද යොදා ගෙන රනිල් කපා දමා ජනාධිපති පුටුවේ වාඩි වේ.ඉන් පසු සිදු වන්නේ බායිස් ඇතුලූ පිරිස යොදාගෙන මුස්ලිම් කොංග‍්‍රසයේ රවුෆ් හකීම් කැපීමය. ඒ සමඟම සෙල්වසාමි ඇතුලූ තවත් අය යොදා ගෙන ලංකා කම්කරු කොංග‍්‍රසයේ තොණ්ඩමන් කපා දමා පසුව කැපුණු ඉත්තන් වන තොණ්ඩමන් හා හකීම් යන දෙදෙනාම තමන්ගේ ගොඩට දමා ගැනීම සිදුවේ. මීළඟට සිදුවන වැදගත්ම සිදුවීම වන්නේ, කරූ ඇතුලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිළේ දාහත් දෙනා දමා රනිල් කපා දමන අතර ම ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබු රිමෝට් කොන්ට්‍රෝලයේ බැටරි බැස්සවීමය. ඉන්පසු මංගල තර්ජනයක් එල්ල කළ විට ජ.වි.පෙ යොදාගෙන මංගල කපා දැමීම සිදු වේ.

මේ අතර නැගෙනහිර පළාතේ පිල්ලෙයාන් සාධකය ඉදිරියට එන අතර මෙහිදී සිදුවන්නේ පිල්ලෙයාන් දමා කරුණා කැපීමය. පසු කලෙකදී නැවතත් කරුණා දමා පිල්ලෙයාන් කැපීම සිදුවේ. ප‍්‍ර‍්‍රතිඵලයක් ලෙස ඉත්තන් දෙදෙනාම ආණ්ඩුවේ ගොඩට එකතු වේ.මේ අතර කැපිල්ල ජාත්‍යන්තර තලයට ද ගමන් කරයි. චීනය යොදාගෙන ඇමෙරිකාව සහ යුරෝපීය රටවල් කපා දමන ලද අතර චීනය සහ පකිස්ථානය මඟින් ඉන්දියාව බැලන්ස් කරගෙන ඉන්පසු ඉන්දියාව යොදා ගෙන මෙතෙක් කිසිවෙකුටත් කපා දැමීමට නොහැකිව තිබු ඉත්තා වන එල්.ටී.ටී.ඊ යද කපා දමා දාම් යාම හෙවත් රජවීම සිදුවේ.

විමල් සහ නන්දන යොදා ගෙන ජනතා විමුක්ති පෙරමුණ කපා දැමීම වනාහි ඉහත කී රජ කැපිල්ලට පමණක් දෙවෙනි වු තවත් ඓතිහාසික කැපිල්ලකි. ලංකාවේ සියළුම පක්ෂ හා සංවිධාන මෙසේ ඉතා දක්ෂ ලෙස කපා දැමීමෙන් අනතුරුව දැන් අළුත්ම කැපිල්ල එල්ල වී තිබෙන්නේ ජාතික හෙළ උරුමය වෙතය. ජනප‍්‍රිය දේශපාලනයේ සංඝටක යොදාගෙන පක්ෂය ප‍්‍රසාරණය කොට වෙහෙස මහන්සි වී එය ලංකාවේ හතරවෙනි දේශපාලන බලවේගය බවට පත්කළ චම්පික, රතන, නිශාන්ත යන ත‍්‍රිමූර්තිය මෙකී ජනප‍්‍රිය සංඝටක වන ගම්මන්පිල හා කොටකදෙනිය වැනි චරිත යොදාගෙන කපා දැමීම කැපිල්ලේ මීළඟ අදියර බවට පත්වන ලකුණු දැනටමත් පහළ වී ඇත.

පුදුමයට මෙන් මේ දක්වා කරන ලද සෑම කැපිල්ලක් ම කිරි ගහට ඇන්නාක් මෙන් අතිශය සාර්ථක වී ඇත. කැපිල්ලට යොදා ගන්නා ඉත්තන් මෙන්ම කැපුණු ඉත්තන්ද (එල්.ටී.ටී.ඊ ය, මංගල හා කරු හැර) කැපිල්ල සිදු කළ ආණ්ඩුවේ පැත්තේම වාඩි වී සිටින්නේ පුදුමකාර විදිහටය.”ජයග‍්‍රහණයෙන් උද්දාමයට පත් ව තව තවත් කැපිලි වලට සැරසෙන සියළුදෙනා අමතක කරන එක කාරණයක් ඇත. ඒ දාම් පෙතේ හෝ චෙස් පෙතේ ඉත්තන් මෙන් නොව දේශපාලන පෙතේ දී කැපිල්ලට ලක්වන හා ආනාගතයේදී කැපිල්ලට ලක් විය හැකි ඉත්තන්ට ‘සිතන්නට’ පුළුවන් බවයි.”කැපිල්ල හේතුවෙන් තමාට ඇති වු තුවාලවල බෙහෙත් තෙල් ආලේප කර ගනිමින් හොරි කසමින් සහ ගිනි පිබිමින් ඔවුන් සිටින්නේ තිත්තයාගේ වාරය එනතුරු විය හැකිය. ඇත්තවශයෙන්ම දෙමළ කැරළිකාරීත්වය සමූල ඝාතනය කර යුද්ධය ජයග‍්‍රහණය කිරීමෙන් පසු බොහෝ ලිබරල්වාදින් කල්පනා කළ ආකාරයට ලංකාව සාමකාමී ලෙස සංවර්ධන ගමනේ ඉදිරියට යනු වෙනුවට එක තැන පල් වෙමින් සිටින්නේ මේ අසහනයට පත් ඉත්තන් නිහඬව කරන කියන දේ නිසා විය නොහැකි ද?