Thursday, July 16, 2009

බාහු බලය වෙනුවට සෛල බලය

නිදහසේ වේදිකාවට ඔබේ සහයෝගය ඕනෑ කර තිබේ


ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයෙහි ප‍්‍රධාන මූලධර්ම දෙකක් වේ. පළමුවැන්න බහුතරයේ කැමැත්ත මත පාලනය කිරීමයි. දෙවැන්න බහුතරය ලබා නොගන්නා පිරිසට විපාක්ෂික විසම්මුතික පාර්ශ්වයක් වශයෙන් කටයුතු කිරීමේ හැකියාවයි.උදාහරණයක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් සේ සැලකෙන කැනඩාව ගනිමු. කැනඩාව ප‍්‍රාන්ත සමූහයක් සහිත ෆෙඩරල් හෙවත් නිර් මධ්‍යගත පාලන ව්‍යුහයක් ඇති රටකි. බහුතර කැනේඩියානුවන් භාවිතා කරන්නේ ඉංග‍්‍රීසි භාෂාවය. එහෙත් ක්විබෙක් ප‍්‍රාන්තයෙහි බහුතරයක් භාවිතා කරන්නේ ප‍්‍රංශ භාෂාවයි. රටේ නිල කටයුතු වලදී ඉංග‍්‍රීසි සහ ප‍්‍රංශ යන භාෂා දෙකම භාවිතා වෙයි. ක්විබෙක් ප‍්‍රාන්තයේ බෙදුම්වාදී ව්‍යාපාරයක් පවතී. එය ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් නොවේ. අදහස් වලින් සන්නද්ධ වූ ව්‍යාපාරයකි. ඔවුන් සිතන්නේ ක්විබෙක් ප‍්‍රාන්තය කැනඩාවෙන් වෙන්වූ වෙනම රටක් වශයෙන් පැවතිය යුතු බවයි. එහෙත්, ක්විබෙක් වාසීන් හැම දෙනාම මේ අදහසට එකඟ නැත. ඔවුන් සිතන්නේ ක්විබෙක් ප‍්‍රාන්තය මේ තිබෙන හැටියට ම ප‍්‍රාන්ත බලතල සහිතව කැනඩාවේ කොටසක් වශයෙන් පැවතිය යුතු බවයි.

මේ දෙකට ම අයත් නොවන තුන්වන හෙවත් අතරමැදි ප‍්‍රවණතාවක්ද පවතී.ඔවුන් වෙන්වීමට විරුද්ධය; මේ තියෙන හැටියට පැවතීමටත් විරුද්ධය. ඔවුන් කියන්නේ ක්විබෙක් ප‍්‍රාන්තය කැනේඩියානු ෆෙඩරල් ව්‍යුහය තුළ පැවතිය යුතු නමුත් ප‍්‍රාන්තයට වැඩි ස්වයං පාලන බලතල ලබාදිය යුතු බවයි.මේ මත භේදය විසඳීම පිණිස ප‍්‍රශ්නය ක්විබෙක් ප‍්‍රාන්තයේ මහජනතාව වෙත, අවස්ථා දෙකකදී යොමු කර ජනමත විචාරණ දෙකක් පවත්වන ලදි. නැවතත් අවධාරණය කළ යුත්තේ, ජනමත විචාරණය පවත්වන ලද්දේ බෙදුම්වාදී ප‍්‍රවණතාවයක් පවතින ක්විබෙක් ප‍්‍රාන්තයෙහි පමණක් මිස මුලූ කැනඩාව මුලූල්ලේම නොවන බවයි. මේ අවස්ථා දෙකේදීම වෙන්වීම අවශ්‍ය යැයි කියූ පිරිස පරාජයට පත් වී එකට සිටිය යුතුය කියන අය ජයග‍්‍රහණය කරන ලදි. ඡන්ද ප‍්‍රතිඵල වලින් පසුව බෙදුම්වාදීන් දඩයම් කිරීම හෝ පළිගැනීම හෝ ඔවුන් දේශද්‍රෝහීන් වශයෙන් හැඳින්වීමක් සිදු නොවෙයි. ඔවුන් වනාහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ජීවත් වන විසම්මුතික මත දරන්නන් පිරිසකි.

ඔවුන් මහජන ඡන්දයෙන් පැරදී සුළුතරය බවට පත් වූවා පමණකි. එම සුළුතර මතය දරමින්, බහුතරය තම මතයට පොළඹවා ගැනීම සඳහා සාමකාමී ලෙස ප‍්‍රචාරක, උද්ඝෝෂණ සහ බලමුළු ගැන්වීමේ ක‍්‍රියාවන්හි යෙදීමට ඔවුන්ට අයිතිවාසිකමක් ඇත. එම අයිතිවාසිකම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෙවත් රටේ උත්තරීතර නීතියෙන් තහවුරු කොට ඇත.දැන් අපි කැනඩාවෙන් ලංකාව දෙසට හැරෙමු. එක් අතකින් ඉසුරු සොයා කැනඩාවට ගොස් එහි ආන්තිකකරණය වී කොන් වී ජීවත්වන සමහර ලාංකිකයන් මෙන් අපට කැනඩාව ගැන වෛරයක් සහ ලංකාව පිළිබඳ අතීත වේදනාවක් හෙවත් නොස්ටැලජියාවක් නැත.

අනෙක් අතට ලංකාවේ සිවිල් සමාජයේ ඉහළ මට්ටමේ සිටින වීරවරයන්ට සහ වීරවරියන්ට මෙන් අපට කැනේඩියානු (හෝ වෙනත් බටහිර රටක) පාස්පෝට් හෝ දේශපාලන රැකවරණ හෝ නැත. ඒ නිසා අප බැලිය යුත්තේ ලංකාව දෙසය. ලංකාව ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයකි. ජපානයට පසු මුලූ ආසියාකරයෙන්ම සර්ව ජන ඡන්ද බලය භුක්ති වින්දේ ලංකාවේ ජනතාවයි. එම සම්ප‍්‍රදාය දැන් වසර අසූවක් තරමට පැරණිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලංකාවේ ඉහත දැක්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කැනඩාවේ පැවතියාක් වැනි මතභේදයක් විසඳා ගැනීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාර්ගයක් තිබේද? මම ඔබට අභ්‍යාසයක් යෝජනා කරමි. ඔබ කැමති ඕනෑම සමාජ ප‍්‍රශ්නයක් සිහියට ගන්න.

1. පොලිසිය, රාජ්‍ය සේවය, අධිකරණය දේශපාලන බලයට යටවීම වළක්වා ස්වාධීනත්වය තහවුරු කිරීම පිණිස 17 වන සංශෝධනයෙන් නීතිගත කළ ව්‍යවස්ථාදායක සභාව සහ ස්වාධීන කොමිෂන් සභා නැවත ක‍්‍රියාත්මක කිරීම.
2. ජාතීන් අතර සමගිය සහ සමගි සන්ධානය ඇති කිරීම සඳහා ඇති කරන ලද පළාත් සභා ක‍්‍රමය සක‍්‍රීය බලතල සහිත ආයතනයක් බවට පත්කිරීම සඳහා 13 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කොට එය ක‍්‍රියාත්මක වීම සදහා ඇති අඩු පාඩු නිවැරදි කිරීමට නීති සංශෝධන ගෙන ඒම.
3. රටේ පවතින කොල්ලකාරී, ආර්ථික ප‍්‍රතිපත්තිය වෙනස් කර සාධාරණ, සමාජයට වග කියන ආර්ථික ක‍්‍රමයක් ගොඩ නඟා ගැනීම.
4. තමන් නීතියට ඉහළින් සිටිමින් නීති සම්පාදනය කරන හා යුක්තිය පසිඳලන ආයතන වන ව්‍යවස්ථාදායකය හා අධිකරණය දෙපයින් පාගා ගෙන සිටින විධායක ජනාධිපති ධූරය අහෝසි කොට විධායකය නීතියේ පාලනය යටතට ගෙන ඒම.5. ජාතික වශයෙන් සහ ජාත්‍යන්තරව පිළිගත් සාර්වත‍්‍රික මානව අයිතිවාසිකම් සියළු දෙනාට සමසේ ලැබෙන සේ නීති සහ යාන්ත‍්‍රණයන් ඇතිකොට ක‍්‍රියාත්මක කිරීම.

හෝ වෙනත් ඕනෑම කරුණක් විය හැකිය. එවැනි කාරණයක් ගැන ප‍්‍රජාතන්ත‍්‍රවාදීව, මහජන අවකාශය තුළ සාකච්ඡාවක් ගෙනයාමට ඔබට අවස්ථාවක් තිබේද? එම අවස්ථාව භුක්ති විදීමෙන් අනතුරුව බියෙන් තොරව පාරේ බැසයාමට හෝ සැනසිල්ලේ තම නිවසේ නිදා ගැනීමට හැකි වාතාවරණයක් තිබේද ?
ලබන සතියට ..........


Back to Home

No comments: