Thursday, May 28, 2009

මානව හිමිකම් කවුන්සිලයටත් බර අවි වලින් පහරදිය හැකිද?


”හමුදා බලය යොදා වෙන්කොට සැලකීම සහ අසමාන ලෙස සැලකීම සිදුකෙරෙන ලංකාවේ තත්වය අවාසනාවන්ත පමණක් නොව අමානුෂික තත්වයකි.” මෙසේ පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව පිළිබද හදිසි සැසිවාරයක් කැඳවීම පිළිබඳ අදහස් දැක්වූ International Commission of Jurists සංවිධානයේ නියෝජිතයාය.
ඔහුට පෙර ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ ජිනීවා හි ශ‍්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතා ප‍්‍රකාශ කර සිටියේ මේ කි‍්‍රියාත්මක වන්නේ බටහිර යටත්විජිතවාදය බවයි. තවද ලංකාව කොටි සංවිධානය පිළිබද ප‍්‍රශ්නය වසර 30කට පසුව අවසන් කර ඇති විටෙක මෙවැනි විශේෂ සැසිවාරයක් කැඳවා ඒ පිළිබඳව සාකච්ඡා කිරීම අවශ්‍ය නොවන බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ශ‍්‍රී ලංකාව පිළිබඳ විශේෂ සැසිවාරයක් පවත්වයි. මෙම සැසිවාරය ඉල්ලා සිටියේ 47 ක් වන එහි සාමාජික රටවලින් බි‍්‍රතාන්‍ය, ස්විට්සර්ලන්තය, කැනඩාව, නෙදර්ලන්තය, ජර්මනිය, ප‍්‍රංශය, ඉතාලිය ඇතුළු රටවල් 17ක ඉල්ලීමෙනි. අනෙක් අතින් මෙහි පසුබිමේ සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මීට පෙර මෙවැනි විශේෂ සැසිවාර කැඳවා ඇත්තේ අවස්ථා 10 කදී පමණි. එහිදී ද රටක් සම්බන්ධයෙන් හෝ විශේෂ ප‍්‍රදේශයක් සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇත්තේ අවස්ථා 08 කදී පමණි. එනම් පලස්තීනය, ලෙබනනය, සූඩානය, මියන්මාරය, කොංගෝව යන රටවල් සහ ගාසා තීරය, වෙස්ට් බෑන්ක් සහ ඩාෆූර් යන ප‍්‍රදේශ සම්බන්ධයෙනි.
මීට අමතරව මෙම විශේෂ සැසිවාර කැඳවා ඇති අවස්ථා වන්නේ, ලෝක ආහාර අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට සහ ලෝක ආර්ථීක අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමටය. මේ අනුව ලංකාවේ අද ඇති වී තිබෙන තත්වය ලෝක මට්ටමින් බැලූ විට තිබෙන ස්ථානය අපට වටහා ගත හැක. මෙම සැසිවාරයට ලංකාවට පක්ෂ සහ විපක්ෂ ලෙස යෝජනා දෙකක් ඉදිරිපත් වී තිබුණි. ලංකාවට පක්ෂ ස්ථාවරයක් දරණ රටවල් වන්නේ ඊජිප්තුව, ඉන්දියාව, කියුබාව, ඉන්දුනීසියාව, චීනය, මැලේසියාව, සිරියාව, තායිලන්තය, ඉතියෝපියාව, ලෙබනනය, පලස්තීනය, නිකරගුවාව, බොලීවියාව වැනි රටවල්ය. ඉන්දීය විදේශ සේවා නිළධාරියෙකු ලෙස කටයුතු කළ දේශපාලන විචාරකයෙකු වන එම්. කේ. බන්ද්‍රාකුමාර්ට අනුව මානව හිමිකම් කවුන්සිලයේ මෙම විශේෂ සැසිවාරය පිළිබඳ කොළඹ දක්වන ප‍්‍රතිචාරය නම් එය එතරම් ගණන් නොගතයුත්තක් බවය. බන්ද්‍රාකුමාර් මෙසේ බටහිර රටවල් ගණන් නොගෙන සිටීමට ලංකාවට හයිය ලැබෙන්නේ කෙසේද යන්න විග‍්‍රහ කරයි. ඒ ප‍්‍රධාන වශයෙන් රුසියාව සහ චීනය ලංකාව පිටුපසින් සිටින නිසාය. ශ‍්‍රී ලංකා රජය යුධ ජයග‍්‍රහණය ප‍්‍රකාශ කළ වහාම ලංකාව ඇමතූ රුසියානු සහ චීන විදේශ අමාත්‍යංශයන් ප‍්‍රකාශ කර ඇත්තේ ලැබූ යුධ ජයග‍්‍රහණයට සුභ පතන අතරම ඉදිරියේදී ශ‍්‍රී ලංකාව සිදුකරන කටයුතු වලට තම සහයෝගය ලබා දෙන බවයි.
තවත් ලෙසකින් කිවහොත් ජාත්‍යන්තර ප‍්‍රජාව ලංකාවට සිදුකරන ඇඟිලි ගැසීම් වලින් ආරක්ෂාව සලසා දෙන බවයි. එනම් රුසියාව සහ චීනය ඉන්දියන් සාගරය තුළ තම බලය තහවුරු කර ගැනීම අපූරුවට කරගෙන ඇති බවයි. චීනය සහ ඉන්දියාව අතර කෙතරම් කඹ ඇදීම් තිබුණත් ඉන්දියාවට ද මෙහිදී ගත හැක්කේ ලංකාවට සහයෝගය පළ කිරීම පමණි. ඉන්දීය සාගරයේ ලංකාව කේන්ද්‍ර කරගෙන සිදුවන මෙම බල ක‍්‍රීඩාවේ අවසාන වාසිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට ලැබී ඇත. ඉහත තත්වය හමුවේ ඇමෙරිකාව විසින් ලංකාව කෙරෙහි එල්ල කරන ලද පීඩනය නිෂ්ප‍්‍රයෝජන වී ඇත. ඇමෙරිකාවට දැන් තිබෙන හොඳම වාසිය වන්නේ ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ඇමෙරිකන් ඩොලර් බිලියන 1.9 ණය මුදලයි. මේ සඳහා ඇමෙරිකාවේද අනුමැතිය අවශ්‍ය වේ. එහෙත් මැයි මස 15 වෙනිදා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ප‍්‍රකාශ කළේ ”ණය මුදල දීමට මේ සුදුසු වේලාව නොවන බවයි”පෙර කිසි කලෙක නොවූ අයුරින් ලංකාව පිළිබඳ අන්තර්ජාතික මට්ටමින් කතා බහ මේ වන විට ඇරඹී ඇති අතර මෙම සාකච්ඡා දෙස කුමන්ත‍්‍රණ න්‍යායෙන් බලනවා හැර රටේ වඩා හොඳ තත්වයක් ඇති කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාවන් භාවිතා කරන ආකරය පිළිබද රාජපක්ෂ ආණ්ඩුව තුළ පෙළඹවීමක් ඇති බවක් දක්නට නොමැත.

No comments: