Friday, May 22, 2009

දැන් අපට ශක්තිමත් බල බෙදාහැරීමක් අවශ්‍යයි

ජනාධිපති නීතිඥ
ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

ව්‍යවස්ථාවක් කියන්නේ මොකක්ද ?
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යනු රටේ මුලික නීතිය. රටේ අනෙකුත් සියලූම නීතිවලට පදනම් වන්නේ එයයි. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ආයතනවල ව්‍යුහයන්, ඒවා ක‍්‍රියාත්මක වන ආකාරය, ජනතාවගේ අයිතිවාසිකම්, ජනතාව එම ආයතන තුන සමඟ ඇති සම්බන්ධය සහ එම එකිනෙක ආයතන අතර ඇති සම්බන්ධකම් හුවා දක්වන රටක මුලික ලියවිල්ල මෙයයි. අනෙකුත් සියලූම නීතිවලට වලංගු භාවයක් සහ නීතිමය තත්ත්වයක් ලැබෙන්නේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මඟින්.


ලංකාව වගේ රටකට ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයි?
නවීන ලෝකයේ සියළුම රටවලට ව්‍යවස්ථා තියෙනවා. ව්‍යවස්ථාවක් තියෙනකොට ජනතාව දන්නවා තමන්ගේ අයිතිවාසිකම් මොනවාද, ඒවා කඩ වුණාම කරන්න ඕන මොනවද කියලා. ව්‍යවස්ථාදායකය හා විධායකය දන්නවා ඔවුන්ගේ සීමාවන් මොනවද කියලා.ඒ සියල්ලටම වඩා අද හැම රටකම ව්‍යවස්ථාවේ තියෙනවා මුලික අයිතිවාසිකම් පරිච්ඡේදයක්. ඒ අනුව රජයකට තම අභිමතයට කටයුතු කරන්න ඉඩ ප‍්‍රස්ථාව ලැබෙන්නේ නැහැ.

නවර්ග කිහිපයක් ජීවත් වන රටක ඒ ඒ ජනවර්ගයන් ගේ අභිලාෂයන් ආමන්ත‍්‍රණය කරන, ඔවුන්ව එකට බැඳ තබන ලියවිල්ලක් නැතිනම් සම්මුතියක් ලෙස ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව හඳුන්වනවා. ලෝකයට සහ ලංකාවට මෙය අදාළ කර ගත්තොත්...
නවීන ලෝකයේ අද තියෙන තත්ත්වය අනුව බොහෝ රටවල්වල විවිධ ජන කොටස් ජීවත් වෙනවා. මේ හැම ජනවර්ගයක්ම තමන්ගේ අයිතිවාසිකම් ගැන හොඳ සැලකිල්ලෙන් ඉන්නේ. සමහර රටවල ඉන්නේ විසිරී ගිය සුළු ජන කොටස්. මං මෙහිදී සුළු ජන කොටස් ලෙස හඳුන්වන්නේ සංඛ්‍යාත්මක ව පමණයි. විසිරී ගිය රටක සුළු ජන කොටස් ඉල්ලන මූලික ම කාරණා කිහිපයක් තියෙනවා. ඒවා තමයි ඔවුන්ගේ ජනගහණයට අනුරූපව ව්‍යවස්ථාදායකය තුළ නියෝජනයක්, විධායකයේ නියෝජනයක්, මුලික අයිතිවාසිකම් සහ සෑම අංශයකම සමානාත්මතාව. ඔවුන්ගේ ඒ ඉල්ලීම් සියල්ලම සහතික කිරීමට නම් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඊට ප‍්‍රතිපාදන තිබිය යුතුයි. නැත්නම් බහුතරය ඒ සුළුතරයගේ අයිතීන් පාගා දමනවා. ඒක අපි ලෝකයේ හැම තැනම දකිනවා. මේ ප‍්‍රශ්නය වඩා උග‍්‍ර වෙන්නේ භූගෝලීයව ඒකරාශී වු ජන කොටස් ඉන්නා රටවල. එවැනි රටවල සමානාත්මතාවෙන් විතරක් ප‍්‍රශ්න විසඳන්න බැහැ. භුගෝලීයව ඒකරාශී වී සිටින සුළුතර ජන කොටසක් හැම වෙලාවෙම තමන්ගේ පළාතේ ප‍්‍රාදේශීය පාලනයක් තමන්ට දෙන්න කියලා ඉල්ලීම් කරනවා. විශේෂයෙන්ම කියන්න ඕන ලෝකයේ ඉන්න සියලූම බහුතරය බහුතරවාදීන්. ඔවුන් මුලදී බලන්නේ අනෙකුත් සුළුතරයන්ට ඒ අයිතිවාසිකම් නොදී ඉන්න. නමුත් සමහර රටවල බහුතරය මුලින්ම හරි, පහුවෙලා හරි තේරුම් ගන්නවා මේ ගැටුම දිගටම ගෙන යන්න බැහැ, එම නිසා සුළුතරය සමඟ බල හවුල්කාරීත්වයකට යා යුතුයි කියලා.

ස්පාඤ්ඤය ඒකීය රාජ්‍යයක්ව සිට පසුව ඒ ස්වරූපය වෙනස් කර වෙනත් රාජ්‍යයක් හා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් හදා ගත්තා. එමඟින් බොහෝදුරට ගැටුම් අඩු කර ගත්තා. බෙල්ජියම කැඩෙන්න යනවිට තිබූ ඒකීය රාජ්‍ය ෆෙඩරල් රාජ්‍යයක් කරලා ගැටුම් විසඳා ගත්තා. මහා බි‍්‍රතාන්‍යත් ස්කොට්ලන්තයේ බෙදුම්වාදය උත්සන්න වෙනකොට ක‍්‍රියාත්මක වශයෙන් ෆෙඩරල් තත්ත්වයක් ලබා දීලා තියෙනවා. ඒකීය රාජ්‍යවල මව් රජය ලෙස හඳුන්වන මහා බි‍්‍රතාන්‍යයෙත් ඇත්ත වශයෙන්ම ක‍්‍රියාත්මක වෙන්නේ ෆෙඩරල් ක‍්‍රමයක්. උතුරු අයර්ලන්තයේ ඉතාම නරක යුද්ධයකින් පසු දෙපාර්ශ්වයම තේරුම් ගත්තා දේශපාලන විසඳුමකින් තොරව මෙයට පිළිතුරක් නොමැති බව. ඒ නිසා කවදාවත් අතට අත නොදුන් දේශපාලනඥයින් පවා අද එකම කැබිනට් මණ්ඩලයක් තුළ අසුන් ගෙන සිටිනවා. හැම රටකම මෙවැනි ගැටුම් ඇතිවෙන නිසාම තමයි ව්‍යවස්ථාවක් වඩාත් අවශ්‍ය වෙන්නේ. ව්‍යවස්ථානුකූල විසඳුම් කරා රටක් ගමන් කරන්නේ එමඟින්.

1956 සිංහල රාජ්‍ය භාෂාව කරන කොට ඊට විරුද්ධ වු අය අතර වමේ නායකයින් පෙරමුණේ සිටියා. නමුත් ඔවුන්ටම 1972 ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට දායකවීමේ අවස්ථාවද උදාවුණා. 56 සිංහල රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධ වු ඔවුන් අතින් 72 ව්‍යවස්ථාව සකස් කරන විට ජාතික ප‍්‍රශ්නයට සාධාරණයක් ඉටු වුණේ නැහැ. විශේෂයෙන්ම මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ අන්තර්ගතය විවාදාත්මකයි.
භාෂා ප‍්‍රශ්නය ගැන වාමාංශිකයන් 1930 ගණන්වල ඉඳන්ම ඉතාම පැහැදිලි ස්ථාවරයක් ගත්තා. මුලින් ම කියන්න ඕන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව හදන්නේ ඇමතිවරයා නෙවෙයි. එය හැදෙන්නේ එයට සම්බන්ධ වන, දායක වන දේශපාලන බලවේගවල තුලනය මතින්. අපිටත් එදා දේශපාලන බලවේගවල balance එක බලන්න සිදුවුණා. එදා අපිට දේශපාලන නායකයින්ගෙන් එය සකස් කිරීම පිළිබඳව පැහැදිලිව උපදෙස් ලැබී තිබුණා. උපදෙස් නොලැබුණත් අපි දැනගෙන හිටියා කොච්චර දුරට යන්න පුළුවන්ද,
කොච්චර දුරට යන්න බැරිද කියලා. මං සම සමාජ පක්ෂ සාමාජිකයෙක්. සම සමාජ පක්ෂය සහ වාමාංශිකයන් තමා වැඩිපුරම කියන්නේ මේක කොල්වින්ගේ ව්‍යවස්ථාව කියලා. මම හිතනවා ඒක වැරදියි කියලා. මේ කොල්වින්ගේ ව්‍යවස්ථාව නෙවෙයි. කොල්වින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා ඇමති වී සිටි රජයේ ව්‍යවස්ථාව. භෞතික විද්‍යාවේ වචනයක් පාවිච්චි කරනවා නම් එක එක දේශපාලන බලවේගවල සම්ප‍්‍රයුක්තය තමා ව්‍යවස්ථාව. නමුත් කොල්වින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව හැදීම ගැන ආණ්ඩුව තුළ ඇති වු සාකච්ඡා ඉතාම විනයගරුක ඇමතිවරයෙක් හැටියට එළියට ගෙනාවේ නැහැ. ඔහු ආණ්ඩුවෙන් ගියාට පස්සේවත් කිව්වේ නැහැ අහවලා නිසා මට මේ දේ කරන්න වුණා කියලා. නමුත් කොල්වින් මේක ඒකීය රාජ්‍යයක් වුණාට කමක් නැහැ. ඒත් ඒකීය රාජ්‍යයක් කියලා මෙයට ලේබල් එකක් ගැසීමට විරුද්ධ වු බවට අද අවුරුදු 35 කට පස්සේ එවකට අධිකරණ ඇමති වෙලා හිටි ඉතාම බලවත් අමාත්‍යවරයෙක් වන ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ හිටපු අමාත්‍යාංශ ලේකම් ආචාර්ය නිහාල් ජයවික‍්‍රම ඔහුගේ ප‍්‍රසිද්ධ ලිපියකින් හෙළි කරලා තියෙනවා. ඒ වගේම බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දීමටත් කොල්වින් විරුද්ධ වු බව එහි සඳහන්. නමුත් ඒවා ඔහුට ඉටු කරගන්න බැරි වුණා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයේ බලපෑම නිසා. ඒ වගේම ආචාර්ය ජයවික‍්‍රම කියනවා භාෂාව ගැන කොල්වින් දරපු ස්ථාවරය ගැන තමාටත් වැටහෙන්නේ නැති බව.

කෝඬේස්වරන් නඩුවේදී කොළඹ දිස්ත‍්‍රික් උසාවිය තීන්දු කෙරුවා සිංහල රාජ්‍ය භාෂාව කරපු පනත ව්‍යවස්ථා විරෝධී බව. ඉන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙනත් නීති ප‍්‍රශ්නයක් උඩ ඒ තීන්දුව වෙනස් කෙරුවා. ප‍්‍රිවි කවුන්සිලයේදී ඒ තීන්දුව යළිත් වෙනස් කළා නඩුව සොල්බරි ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද කියලා ව්‍යවස්ථානුකූල ප‍්‍රශ්නය මත නැවත අහන්න කියලා.1972 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ආවා ෆෙඩරල් පක්ෂ. නමුත් රාජ්‍යයේ ස්වරූපය ගැන මූලික යෝජනාව (basic resoulution) එක ආවට පස්සෙ එහි තිබුණේ ලංකාව ඒකීය රාජ්‍යයත් විය යුතුයි කියලා. ඒ පිළිබඳව සමඟි පෙරමුණ රජයයි ස්ථාවරය වෙනස් කිරීමට එකඟ වුණේ නැති නිසා ෆෙඩරල් පක්ෂ ඉවත් වී ගියා. ඒ නිසා 1972 ව්‍යවස්ථාවේ සුජාතභාවය ගැන සමහරු ප‍්‍රශ්න කළාට මම නම් කියන්නේ එහි එක්තරා ආකාරයක සුජාත භාවයක් නැත්තේමත් නැහැ කියලා.
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සම්පාදක මණ්ඩලයේ මුල් රැස්වීමට දෙමළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සියලූ දෙනාම පැමිණියා. ඒ තරමට සුජාතභාවයක් එහි තියෙනවා. නමුත් ඒ දෙමළ මන්ත‍්‍රීවරු ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාට සම්පාදනය ක‍්‍රියාවලිය තුළ දිගටම තබාගෙන ඔවුන්ටත් පිළිගන්න පුළුවන්, ඔවුන්ගේත් අයිතිවාසිකම් සහතික වන ව්‍යවස්ථාවක් හදන්න සිංහල බහුතරයට පුළුවන් වුනේ නැහැ. එතකොට 1972 තුළම මුල්ම වැරැද්ද වෙලා තියෙන්නේ.

77 ඡන්දෙදි ප‍්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වන එක්සත් ජාතික පක්ෂය මුල්වරට මැතිවරණ ප‍්‍රකාශයක් කරනවා දෙමළ ජනතාවට ප‍්‍රශ්න තියෙන බව දන්නවා. ඒ ප‍්‍රශ්න විසඳුනේ නැති නිසා අද ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින තත්ත්වයක් ඇති වී ඇති වෙලා තියෙන බව අපි පිළි ගන්නවා. අපි දිනුවට පස්සේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඒ පිළිබඳ කටයුතු කරනවා කියා. නමුත් සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවුවේ නැහැ. ඒ වන විට 1972 ව්‍යවස්ථාව එනවා. සමහර විට ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුව ගියා නම් සෝල්බරි ව්‍යවස්ථාවට සාපේක්ෂව භාෂා ප‍්‍රශ්නය ව්‍යවස්ථානුකූලද නැද්ද කියන ප‍්‍රශ්නය මතු වෙනවාමයි. නමුත් ඒක නැවැත්වීමට හෝ දේශපාලන බලවේගවල තුලනය ගැන කොල්වින් මැනීම නිසා හෝ නිහාල් ජයවික‍්‍රම කියන දේ නිවැරදියි නම් මටත් ප‍්‍රශ්නයක්. මං හිතනවා ඔහු නිවැරදියි කියලා. ඒ නිසා අඩුම ගානේ සිංහල රාජ්‍ය භාෂාව වන අතරම 56 බලාපොරොත්තු වු තැන කෙසේවෙතත් ආණ්ඩුව තුළවත් දෙමළ භාෂාවට වෙනත් සාධාරණ ස්ථානයක් නොදුන්නේ ඇයි කියන එක ප‍්‍රශ්නයක්.නමුත් 1977 ඡන්දෙන් පසු පළමු සති කිහිපය තුළම ජාතිවාදී කෝලාහල ඇතිවුණා. උඩරට වතුකර දෙමළ ජනතාවට පහර දුන්නා. 78 ව්‍යවස්ථා සම්පාදනයටත් දෙමළ නියෝජිතයන් සහභාගී වුණේ නැහැ. 72 කිව්වේ ‘ඒකීය’ කියලා විතරයි. 78 දී ඒකට තවත් සුවිශේෂී තැනක් දීලා කිව්වා මේක වෙනස් කරන්න ජනමත විචාරණයකුත් අවශ්‍යයි කියලා. 72 හා 78 යන දෙකේම තත්ත්වයන් සමානයි.

1972,සිට 1978,2000 ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම දක්වා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී පැන නැඟුණු න්‍යායාත්මක සහ ප‍්‍රායෝගික ගැටළු මොනවාද ?
ඔය හැම තැනකදීම මතුවුණේ සිවිල් ජන කොටස් සහභාගී කර ගැනීමේ ප‍්‍රශ්නය. 72 තමා හොඳම අවස්ථාව එය නාස්ති කර ගත්තා. සියලූම මන්ත‍්‍රීවරුන් සමඟ ඒ තරම් හොඳ ගනුදෙනුවක් තිබුණේ නැහැ. give and take තිබුණේ නැහැ. ගනු විතරයි තිබුණේ. 78 ව්‍යවස්ථාව හැදුණේ සම්පුර්ණයෙන්ම මේ කාරණා ගැන කිසිම තැකීමක් නොකර. ජේ.ආර්. ජයවර්ධන තමන්ට ලැබුණ 5/6 හේ ඡන්දයෙන් ඔළුවා ඉදිමිලා, උද්දච්ච විදිහට දේශපාලන ලෙස වෙනත් මත දරණ සියළුදෙනාම ගණන් නොගෙන හදපු ව්‍යවස්ථාව නිසා තමයි අපි අද මේ හිරවෙලා ගැලවෙන්න බැරුව ඉන්නේ. 94 න් පස්සේ ව්‍යවස්ථාවක් හදන්න උත්සාහ දැරුවා. එහිදීත් අවසාන වශයෙන් එක්සත් ජාතික පක්ෂය එය කඩා කප්පල් කෙරුවා. එතනදී ආපසු හැරී බලනකොට පොදු ජන එක්සත් පෙරමුණත් වරදක් කලා කියලායි මගේ තක්සේරුව. ඉන් පසුවත් මේ සම්බන්ධව විවිධ වැදගත් අවස්ථාවල ගත් වැරදි තීන්දු නිසා අපිට නියම ව්‍යවස්ථාවක් සාදා ගැනීමේ ස්වර්ණමය අවස්ථාව මඟ හැරී ගියා.

ජාතික ප‍්‍රශ්නයට සාපේක්ෂව 2000 ව්‍යවස්ථා කෙටුම්පත සකස් වුයේ කොහොමද?
2000 කෙටුම්පතට කලින් 97 කෙටුම්පතක් ආවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් තිබුණා. ඒ තේරීම් කාරක සභාවේ සාකච්ඡා අනුව තමා කෙටුම්පත හැදුණේ. අපිට පෙනුනා යු. ඇන්. පි. හුඟක් කාරණාවලට ඇතුළේදී එකඟවන බවක් පෙන්නනවා. නමුත් මෙහි අවසානයක් දකින්න පුලූවන්කමක් නැහැ. ඒ පාර බැරිම තැන පොදු ජන එක්සත් පෙරමුණ තමන්ගේ රජයේ යෝජනා ඉදිරිපත් කෙරුවා 97 ඔක්තෝම්බර් මාසයේදි. ඒ වන විට 99 වාරයක් තේරීම් කාරක සභාව රැස්වෙලා ඉවරයි. නමුත් ඉන්පසුව ඒ තේරීම් කාරක සභාව රැස් වුණේ නැහැ. පසුව තේරීම් කාරක සභාවේ සාකච්ඡා වු කරුණු සහ මේ නව ව්‍යවස්ථාව ගැන රටේ ඇති වී තිබු කතිකාවද සැලකිල්ලට ගනිමින් කෙටුම්පත් කිරීමේ කණ්ඩායමට ව්‍යවස්ථා කෙටුම්පතක් හදල ඉදිරිපත් කළා. 97 කෙටුම්පත සහ අලූතෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ කෙටුම්පත් කළ ඒවා තමයි 2000 පෙබරවාරි සිට සාකච්ඡාවට අරන් අවසාන වශයෙන් 2000 ව්‍යවස්ථාව ලෙස සකස් වුණේ.නමුත් එක්සත් ජාතික පක්ෂයේ බලපෑම් යටතේ අපි ඉතාමත් අකමැත්තෙන් සමහර ප‍්‍රතිපාදන බාල කෙරුවා. විශේෂයෙන්ම බලය බෙදීම වැනි ප‍්‍රතිපාදන ඒ සැර බාල කෙරුවේ අන්තිමට ඔවුන් ඡන්දය දෙයි කියලා බලාපොරොත්තුවෙන්.නමුත් අන්තිමට එයත් සිදු වුණේ නැහැ.

ජාතික ප‍්‍රශ්නය මුල් කරගෙන ඉදිරියේදී නව ව්‍යවස්ථාවක් සකස් කරනවා නම් එහිදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද ?
මේ පිළිබඳ ජනාධිපතිතුමා විසින් පත් කරන ලද සර්ව පාක්ෂික කමිටුවට සහාය දීමට පත් කළ විද්වත් කමිටුවක් හිටියා. මමත් එහි හිටියා. එහි බහුතර වාර්තාව තමයි මගේ අදහස් වලට 99%ම සමීප. එහි අපි යෝජනා කරනවා ශ‍්‍රී ලංකාව තනි රාජ්‍යයක් විය යුතුයි. ඒ තනි රට තුළ බල හවුල්කාරීත්වයක් තිබිය යුතුයි කියලා. ජාතික ගැටලූවටත් මම හිතනවා වැදගත්ම විසඳුම බල හවුල්කාරීත්වය කියලා. ශ‍්‍රී ලංකාව තුළ භූගෝලීය ව ඒකරාශී වු හා විසිරුණු විවිධ ජන කොටස් සිටිනවා. මේ හැම දෙනාටම ගැලපෙන ව්‍යවස්ථාවකට එන්න ඕන. මුලික වශයෙන් ජනාධිපති ක‍්‍රමය පැවතිය යුතුයි. නමුත් මනාප ක‍්‍රමය නිසා වගේම විධායක ජනාධිපති ක‍්‍රමය හා මැතිවරණය නිසා ඇතිවන ප‍්‍රශ්නත් බරපතලයි. ඒ නිසා පුද්ගලයා කවුරු වුණත් එක පුද්ගලයෙක් වටා මෙතරම් බලයක් කේන්ද්‍රගත වී තිබීම නැති කරන්න ඕන. ඒක මං හැමදාම දරපු මතයක්. අපි පැරණි පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයට නැතිනම් වෙස්ට් මිනිස්ටර් ක‍්‍රමයට ආපසු යා යුතුයි.

ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ශක්තිමත් බලය බෙදා හැරීමක්. මෙච්චර කාලයක් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සකස් කිරීමේදී බලය බෙදා හැරීම ගැන විතරයි හිතුවේ. කේන්ද්‍රයේ බල හවුල්කාරීත්වය සම්පුර්ණයෙන්ම අමතක කෙරුවා. බලය බෙදා හැරණු සෑම රටකම පාහේ ඒ ඒ ඒකක නැවත කේන්ද්‍රයට ගේන්න ක‍්‍රම තියෙනවා. බලය බෙදා හරින නමුත්, ඒ ඒ ඒකක නැවත කේන්ද්‍රයටත් සම්බන්ධ කරනවා දෙවැනි මන්ත‍්‍රී මණ්ඩලයක් තුළින් එයට විවිධ බලතල දීලා. ඊළඟට සංකේතාත්මකව වුණත් විධායක නොවන ජනාධිපතිවරයෙක් යටතේ උප ජනාධිපතිවරයෙක් හෝ දෙදෙනෙක් ඇති කළ යුතුයි. එවිට ජනාධිපති නියෝජනය කරන ප‍්‍රධාන ජන කොටසට පිටින් වෙනත් ජන කොටසකට ඒවා බෙදී යනවා. ඒ වගේම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සභාවක් අවශ්‍යයි. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වලට සීමා වු මුලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් දැනට අපිට තියෙන්නේ. නමුත් දැන් ලෝකයේ තියෙන ප‍්‍රවණතාවය තමයි සමාජ, ආර්ථික සහ සංස්කෘතික අයිතිවාසිකම්ද ක‍්‍රියාත්මක කළ හැකි මුලික අයිතිවාසිකම් පිළිගැනීම. ඒ නිසා මීට වඩා ශක්තිමත් මුලික අයිතිවාසිකම් පරිච්ඡේදයකුත් අපට අව්‍යශයි.

රාජ්‍ය පරිපාලන කටයුතු පිළිබඳව දේශපාලන තීන්දු ආණ්ඩුව ගන්නා අතර රාජ්‍ය සේවකයන් පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම වැනි දේවල් ස්වාධීන ව කෙරෙන්න ඕන. එම නිසා ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම වැනි ආයතන වඩා ශක්තිමත් කරන්න ඕන. ඒ වගේම තවත් විශේෂ කාරණයක් තමයි විවිධ ජන කොටස් වල අනන්‍යතාව පිළි ගැනීම.නොයෙකුත් රටවල ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා ඒ සඳහා ක‍්‍රම සහ විධි සොයාගෙන තියෙනවා. විවිධ ජන කොටස්වල අන්‍යනතාව ව්‍යවස්ථාවෙන් පිළි ගන්න කොට ඔවුන් නිරායාසයෙන්ම හිතනවා අපිත් මේ රටේ සැබෑ කොටස්කරුවෝ කියලා.

යුද්ධය දැනට පැමිණ සිටින තත්ත්වයට බොහෝ දේශපාලනඥයින් සහ පක්ෂ දක්වන පක්ෂපාතීත්වය මධ්‍යයේ ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් ගෙන එන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම, එය සම්මත කර ගැනීම සහ ඊට ඇති අභියෝග මොනවාද?
රජයේ ප‍්‍රකාශිත ස්ථාවරය තමයි මෙයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව. එවැනි දේශපාලන විසඳුමක් බලාපොරොත්තුවෙන් තමයි සර්ව පාක්ෂික කමිටුවක් සහ නියෝජිත අනු කමිටුවක් පත් කරලා තියෙන්නේ. එය පිළි ගැනීම හොඳ වර්ධනයක්. නමුත් එල්.ටී.ටී.ඊ යේ සිදුවු යුධ පරාජයත් සමඟ අපි යුද්ධය දිනා ගත්තා. දැන් අපි සාමය දිනා ගැනීම අවශ්‍යයි. එල්.ටී.ටී.ඊ යට නොවෙයි විසඳුමක් දෙන්න ඕන. ඔවුන් නැති නිසා දැන් විසඳුමක් අවශ්‍ය නැතැයි කියන්න අපිට බැහැ. ඔවුන් නැති වුණත් දෙමළ ජනතාව ඉන්නවා. ඔවුන් ව අපි සම්බන්ධ කර ගන්න ඕන මේ රටේ පාලනයට සහ සියලූම කටයුතු සඳහා මං හිතන්නේ සර්ව පාක්ෂික කමිටුව තුළින් ඉදිරියට යන්න පුලූවන්. සිංහල ජනතාව තමන්ගේ නායකයා තමන්ව පාවා නොදෙයි කියන විශ්වාසය තමා මේ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තියෙන ලොකුම වාසිය. ඒ නිසා මේ වෙලාවේ ඕනම දේශපාලන විසඳුමකට යාමට ඔහුට ඉතාම හොඳ පරිසරයක් සකස් වෙලා තියෙනවා.

නමුත් මේ පසුගිය අවුරුදු දෙක තුළ එක්තරා සිංහල අන්තවාදී බලවේගයක් ඉදිරියට ඇවිත් තියෙනවා. ඒ බලවේග විශාල ප‍්‍රයත්නයක් දරයි දේශපාලන විසඳුමකට යාම වැළැක්වීමට බණ්ඩාරනායක මහතාටත් ඒ ප‍්‍රශ්නයම තිබුනා. එදත් අන්තවාදී කොටස් ඔහුව වැළකුවා. මට තියෙන බය එවැන්නක් සිදුවෙයිද කියලා.ඒ වගේම ඔය අන්තවාදී බලවේගවල ශක්තිය ඕනවාට වඩා අධි තක්සේරු නොකළ යුතුයි. ඔවුන්ගේ සද්දේ තරමට ජනතා සහයක් ඔවුන්ට නැහැ. සෑම කෙනෙක්ම එල්.ටී.ටී.ඊ යට විරුද්ධ වුණා කියලා ඒකෙන් හැඟවෙන්නේ නැහැ දේශපාලන විසඳුමකට ජනතාව අකමැතියි කියලා. මෙයට එවැනි විසඳුමක් නොදුන්නොත් සමහර විට ඒ පීඩනය තවත් වසර ගණනකින් ප‍්‍රචණ්ඩකාරී හෝ ප‍්‍රචණ්ඩකාරී නොවන ආකාරයකින් මතුවෙනවාමයි. හේතුව මෙතන මුලික වශයෙන් තියෙන්නේ රාජ්‍ය බලය ගැන ගැටළුවක්. ඒ නිසයි ප‍්‍රභාකරන් වැනි අන්තවාදීන් බිහිවුණේ. එල්.ටී.ටී.ඊ ය දේශපාලන සමීකරණයෙන් ඉවත් වුණත් ප‍්‍රශ්නයට විසඳුමක් දිය යුතුමයි.

ජාතික ප‍්‍රශ්නයට එවැනි විසඳුමක් සහිත නව ව්‍යවස්ථාවක් සකස් වුවහොත් එහි පීතෘත්වය පැවරීමට සුදුසු දේශපාලන නායකත්වය ලෙස ඔබ නිගමනය කරන්නේ කවුද?
ඒක ඉතා වැදගත් ප‍්‍රශ්නයක්. මම හිතන්නේ එයට මුළු රටම සම්බන්ධ කර ගත යුතුයි. මේ අවස්ථාවේ එය කෙරුවොත් එහි සම්පුර්ණ ගෞරවයම යන්නේ ඉන්න ජනාධිපතිවරයාට. නමුත් ඒකේ කිසිම ගැටලූවක් නැහැ. ඔහු නම් එය කරන්නේ ඔහුට ඒ ගෞරවය දිය යුතුයි. නමුත් මම හිතනවා මේ සඳහා අන් සියලූම පක්ෂ සම්බන්ධ කරගත යුතුයි. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය. එදා ඔවුන් විපක්ෂයේම ඇතැම් අය බලය බෙදීමට විරුද්ධව මෙහෙය වුවා. ඊට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේන් අස්වෙලා ගිහින් එක්සත් ජාතික පක්ෂයට එක්වුණු ඇමතිවරුන් විශාල ලෙස වගකියන්න ඕන. ඔවුන්ගෙන් සමහරු නැවත මේ ආණ්ඩුවට පැමිණ සිටිනවා. එක්සත් ජාතික පක්ෂය 94 සිට 2000 වනතෙක් විරුද්ධ පක්ෂයේ සිට කළ දේ නැවත නොකරයි කියලා මම හිතනවා. එදා මෙන් පැහැදිලි ස්ථාවරයක් ගන්නේ නැතිව, සාකච්ඡාවලට නායකයන් එවන්නේ නැතිව, අද එකක් කියලා හෙට තවත් එකක් කියන ලක්ෂණ වලින් අත්මිදී කටයුතු කරයි කියලා. ආණ්ඩුවටයි, විපක්ෂයටයි දෙකටම ප‍්‍රධාන වගකීමක් තියෙනවා ජාතික ප‍්‍රශ්නයේදී. මං හිතන්නේ සියලූ දෙනාම මේ පීතෘභාවයට සම්බන්ධ කරගත යුතුයි. මෙවර එය කළ හැකි වේවි. එය එසේම සිදු වෙන්න කියන එක තමා මගේ ප‍්‍රාර්ථනයත්.


Back to Home.................

No comments: