Wednesday, September 3, 2008

රෝගය සුව කරන්න බැහැ කියලා මිනිහෙක් මරලා දාලා හරියනවාද ?

මහාචාර්ය කාර්තිගේසු සිවතම්බි
සාකච්ඡා කළේ - තාරා ශ‍්‍රී රාම්


උගත් පුරවැසියෙක් ලෙස වර්තමායේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
සෑබැ දේශපාලනය තියෙන රටක මානව හිමිකම් ආරක්ෂා වෙන්න ඕන. ඒක සීමා වුණු දෙයක් නෙවෙයි. මානව හිමිකම් නැති දේශපාලනය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙනවා කියලා අපිට කියන්න බැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන බි‍්‍රතාන්‍ය ආකෘතිය අරන් බහුතරයට ඉඩ දෙනවා කියන එකේ තේරුම සුළු ගණන් වලින් ඉන්න අයව හෙට මරලා දාමු කියන එක නෙවෙයි. දෙමළ සිංහල කියන සාධකය පැත්තකින් තියලා අපි හිතමු එක මිනිහෙක් රෝගියෙක්. අනෙකා නීරෝගී අයෙක් කියලා. එතකොට අර රෝගී මිනිහාගේ රෝගය සුව කරන්න බැහැ කියලා එයාව මරලා දාලා හරියනවාද?

රටක මානව හිමිකම් අදාළ වන්නේ ඒ රටේ ජීවත් වෙන සුළු ජාතික ජනතාවට පමණක්ද?
නැහැ. හැම මිනිහටම අදාළයි. ඇත්තටම මානව හිමිකම් ගැන වැඩියෙන් උනන්දු වෙන්න ඕන බහුතර මිනිස්සු. අනෙක Minority වලට සුළු කියන භාෂාව පාවිච්චි කිරීම සුදුසු නැහැ. සිංහල භාෂා සම්ප‍්‍රදායෙන් සුළු කියන එක හරි වුනත් සාමාන්‍ය සිංහලෙන් සුළු කිව්වම ඒකට වෙන අර්ථයක් තියෙනවා. ගණන් වශයෙන්, තොග වශයෙන් බලන කොට මම සුළු වෙන්න පුළුවන්. නමුත් මම සුළු ජාතිකයෙක් නෙවේ. එහෙමනම් ඉන්දියාව එක්ක බලන කොට සිංහලයිනුත් සුළු ජාතිකයින්. ලංකාවේ සුළුජාතීන් කියන්නේ ගණන් ගන්න ඕන නැහැ කියන අර්ථයෙන් හඳුන්වන්නේ, සුළු කියන වචනෙට සාමාන්‍ය සිංහල භාෂාවේ කියන්නේ Not Very Serious කියන අර්ථය. ඒ නිසා Minority වලට අපි වෙන වචනයක් භාවිතා කරන්න ඕනි. සිංහල මිනිහාගේ සිංහල දෙමළ අනන්‍යතාවයට, දෙමළ මිනිහගේ අනන්‍යතාවයටත්, මුස්ලිම් මිනිහාගේ මුස්ලිම් අනන්‍යතාවයට පාඩුවක් නැතුව ලාංකිකයන් විදිහට ජීවත් වෙන්න ඉඩක් හදන්න ඕන.

ආණ්ඩුවේ තර්කය නැගෙනහිර මුදාගත් පසුව එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළ ආකාරයටම අනෙක් ප‍්‍රදේශවලත් යුද්ධය අවසන් කරලා ඒ ප‍්‍රදේශවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරනවා යන්න. ඒ පිළිබඳව ඔබේ අදහස.
මෙතෙක් ඔවුන් එහෙම කරලා තියෙනවා නම් හොඳයි. මඩකලපුවේ ඉන්න සාමාන්‍ය ජනතාව ඒක පිළිගන්නවා නම් මමත් ඒක පිළිගන්නවා. නමුත් ඕක රජයේ මතයක් විතරයිනේ. මොන ආණ්ඩුවත් එහෙම කියනවා. මේක ලංකාවේ පලවෙනි ආණ්ඩුව නෙවෙයි. ඒනිසා ඔය ප‍්‍රශ්ණෙට කෙලින් පිළිතුරක් දෙන එක එතරම් හොඳ නැති බවයි. මගේ අදහස.

යුද්ධ කර ප‍්‍රදේශ මුදා ගැනීමට පෙර ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ගැන කතා කරන්නන් රජය විසින් දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීම පිළිබඳව ඔබේ අදහස.
කවුරු කාට විරුද්ධදවද යුද්ධ කරන්නේ ? යුද්ධෙ කොහොමද ඇති වුනේ ? ත‍්‍රස්තවාදය කියන්නේ මොකක්ද? ත‍්‍රස්තවාදය කියලා අපි කියපු JVP එක අද දේශපාලනයේ නැද්ද ? මොන හේතුවක් නිසාද ඔවුන් මාරුවුනේ ? ඒවාගේ මාරු වෙන්න අනිත් අයට ඉඩක් නැද්ද? නිකන් සෝබන කතා කරලා වැඩක් නැහැ. තුන්වන ලෝකයේ රටවල අපි මොන දේටත් බයයි. කොටින්ම අද අපි කෙලින් අදහස් ප‍්‍රකාශ කරන්න බයයි. ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න.

ආණ්ඩුව නැගෙනහිර ඡන්දය දින්නා. පසුගියදා සබරගමුව සහ උතුරු මැද පළාත් සභා ඡන්දයත් බහුතරයකින් ජයග‍්‍රහණය කළා. මෙයින් අදහස් වෙනවාද රජය වර්තමානයේ ගෙනයන පාලන ක‍්‍රමය සිංහල හා දෙමළ ජනතාව අනුමත කරනවා කියලා.
මම ඒක දන්නේ නැහැ. නමුත් ආණ්ඩුව එහෙම කියනවා. නැතුව ආණ්ඩුව වෙන මොන විදිහකින් කියන්නද. දැන් ආණ්ඩුව කියන්නේ කියන්නේ කවුද. මහින්ද රාජපක්ෂ විතරයි. දැන් භීෂණ කරන්න JVP එකක් නැහැ. මහින්ද රාජපක්ෂ ගැන හොඳ බලාපොරොත්තුවක් තිබුනා. ඒක ඉෂ්ට වුනාද නැද්ද කියන්න මම දන්නේ නැහැ.

ජනතාව තමන් ඡන්දයෙන් දිනවීම තමන්ට යුද්ධය අවසන් කිරීමට දුන් ජනවරමක් කියලා ආණ්ඩුව ප‍්‍රකාශ කරනවා.
යුද්ධයෙන් ජයග‍්‍රහණය කරනවා කියනවා නම් ඒක හොඳයි. නමුත් ඔය අහස් යානයෙන් බෝම්බ දානකොට කොටියට විතරක්ද ඒක බලපාන්නේ. එතන ඉන්න සාමාන්‍ය මිනිහාට ඒක වැටෙන්නේ නැද්ද? පාසල් වලට වැටෙන්නේ නැද්ද? රෝහල් වලට වැටෙන්නේ නැද්ද? ඒ නිසා දකුණේ මිනිස්සු මානුෂිකව හිතන්න ඕන. යාපනය කියන්නේ වෙන රටක් නෙවෙයි. මේ රටේම කොටසක්. මම දකුණේ හිටියත් අරක්ෂාව ඕන වගේම උතුරේ, හිටියත් ආරක්ෂාව ඕන.

ජනවාර්ගික ගැටලූවට විසඳුමක් ලෙස ඔබ යෝජනා කරන්නේ මොකක්ද?
මුලින්ම එහෙම ප‍්‍රශ්ණයක් තියෙනවා කියලා අපි පිළි ගන්න ඕන. පිළි ගන්තට විතරක් බැහැ. මේ වගේ ප‍්‍රශ්ණ තිබුන අනෙක් රටවල් වල ඒක විසඳා ගන්නේ කොහොමද කියන එක අධ්‍යනය කරන්න ඕන. දෙපාර්ශ්වය හෝ UN වගේ තුන්වැනි පාර්ශ්වයක් මැදිහත් කරගෙන යම්කිසි එකඟතාවයකට එන්න ඕන. එහෙම නැත්නම් තුන්වැනි පාර්ශ්වයක් නැතිව හෝ අපි රට ඇතුළේම මේ ප‍්‍රශ්ණය විසඳා ගන්න පුළුවන්. මම ලාංකිකයෙක්. ඒ වාගේම අනෙක් මිනිස්සුත් ලාංකිකයෝ. මට තියෙන අයිතීන් ඔක්කෝම අනිත් මිනිහටත් තියෙනවා. මට තියෙන යුතුකම් ඔක්කෝම අනිත් මිනිහටත් තියෙනවා. ඒ ගැන අපි කතා කරන්නේ නැහැනේ. අපි යුතුකම අමතක කරලා අයිතිය ගැන විතරයි කතා කරන්න පුරුදු වෙලා තියෙන්නේ. අපි එංගලන්තයට ගිහින් අයිතිවාසිකම් ඉල්ලූවේ නැහැ. මේක අපි උපන් රට. මගේ උපන් රටේදී මට උරුම අයිතිවාසිකම් තියෙනවා. මම දෙමළ භාෂාව කතා කලා කියලා මම ඉන්දියානු දෙමළ වෙන්නේ නැහැ. කරුණාකරලා ඒක සඳහන් කරන්න. මමත් ඔබ අද වගේ. මේ රටේ මිනිහෙක්. රටේ නිදහස වෙනුවෙන් සටන් කරනවා කිව්වාට අපිට කවදාවත් නිදහස් අරගලයක් තිබිලා නැහැ. පොන්නම්බලම් රාමනාදන්, අරුණාචලම් වගේ නම් මන්තරයක් වගේ කියෙව්වාට එන්. එම් පෙරේරා. කොල්වින් ආර් ද සිල්වා වගේ වාමාංශිකයෝ එදා කිව්වා මේක සැබෑ නිදහසක් නෙවෙයි කියලා. ඉතිං එහෙම ටිකෙන් ටික ලොකු වෙලා ආපු මේ ප‍්‍රශ්නය තමයි අද ඔඩු දුවලා තියෙන්නේ. අපි තාමත් ඒකට මොකක්ද කරන්නේ ? අපි තවම ඒ ගැන කතා කරන්නේ නැහැ.

Back Home Page

No comments: